ජාතිය ගොඩනැගීමේ 4% බද්ද කිසිසේත්ම විදුලි බිලට එකතු කරන්නේ නැහැ
30 0

Posted by  in Latest News

පාරිභෝගික ජනතාවට බරක් නොවන පරිද්දෙන් කාර්යක්ෂම, අඛණ්ඩ මෙන්ම ගුණාත්මක විදුලිබල සේවාවක් සැපයීමයි අපේ අපේක්ෂාව. ඒ අනුව නව රජය මගින් හඳුන්වාදෙන 4% ක් වන ජාතිය ගොඩනැගීමේ බද්ද පාරිභෝගකයාගේ විදුලි බිලට එකතු කරන්න අපේ කිසිම සූදානමක් නැහැ” යි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි. ඒ මහතා මෙම අදහස් පළකලේ, අද (30) විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝ්ජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සිය නව කාර්යාල පරිශ‍්‍රයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා …,

“නියෝජ්‍ය අමාත්‍යතුමත් මමත් යන්නේ ලොකු එකඟතාවයකින් යුතු ගමනක්. එතුමා මුලින්ම වැඩ භාරගත් දිනයේ මට කිවේ, මම සාම්ප‍්‍රදායික නියෝජ්‍ය අමාත්‍යවරයෙක් නොවෙයි කියලා. සාම්ප‍්‍රදායික අමාත්‍යවරයෙක් සහ අපි අතර තිබෙන වෙනස තමයි අපි දුරස් නැහැ. අපි අංක එකට ගන්නේ අපේ යුතුකම් සහ වගකීම්. ඒ නිසා අපි දෙන්නා පක්ෂ දෙකක වුවත් මේ වගකීම් සහ යුතුකම් සහ එකිනෙකාගේ ගරුත්වය තේරුම් අරන් තිබෙන නිසා අපිට පුළුවන්වෙලා තිබෙනවා හොඳ ගමනක් යන්න. අපේ අමාත්‍යාංශයට අයත් කාර්යභාරය තේරුම් ගෙන කටයුතු කරනවා.

අපි ඉක්මණින්ම මේ වනවිට විදුලි බලය නොලැබුණ ඉතිරි 2% ප‍්‍රමාණයට විදුලිය ලබාදෙනවා. ඒක ලොකු වගකීමක්. ඒ වගේම විදුලිය සපයන්න කැපවෙලා සිටින 20,000 කට ආසන්න සේවක පිරිසක් තෘප්තිමත් ආකාරයෙන් පවත්වාගෙන යන්නත් අපි පියවර ගන්නවා. සේවක පිරිස් තෘප්තිමත් වුණොත් තමයි ඔවුන්ගේ කාර්යය වඩාත් ඵලදායි වන්නේ. ඒ තුළින් වඩාත් කාර්යක්ෂම ගුණාත්මක, කාර්යක්ෂම, අවම පිරිවැයකින් යුත් මෙන්ම විනිවිද භාවයෙන් යුත් විදුලි ක්ෂේත‍්‍රයක් පවත්වාගෙන යාමේ වගකීම අපි දරනවා” යැයි පැවසීය.

නව කාර්යාල පරිශ‍්‍රයේ වැඩ අරඹමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා …

“අද විශේෂ කරුණු දෙකක් ඉෂ්ඨ වුණා. ඒ තමයි අමත්‍යාංශයේ ශ‍්‍රවණාගාරයත්, මාගේ කාර්යාලයත් නවිකරණය කරලා අද විවෘත කෙරුණා. ජාතික ආණ්ඩුව අපි වසර 5 ම අරන් යනවානම්, රට වෙනුවෙන් ඉදිරියට ගෙනියනවානම් පක්ෂ සියල්ලම, ඒවායේ නායකත්වයත් ඊට පහළ මහජන නියෝජිතයනුත් මේ ජාතික ආණ්ඩු අදහස ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කරන්න ඕන. අපි වැඩ කරන්නේ රටට ජාතියට. එහෙමනම් අපි වැඩ කිරීමේදී පක්ෂ, පාට බලන්න අවශ්‍ය නැහැ.

විදුලිබල ක්ෂේත‍්‍රයට අදාළ කෙටි හා දිගුකාලීන ප‍්‍රශ්න හඳුනා ගනිමින් ඒ ප‍්‍රශ්න සඳහා විසඳුම් සොයන මාර්ගයට නායකත්වය දෙන්න මටත් රංජිත් සියඹලාපිටිය ඇමතිතුමාටත් හැකිවෙලා තිබෙනවා. මේ අයවැය ප‍්‍රකාශ සමග සමහරු කියා සිටියා ජාතිය ගොඩනැගීමේ බද්ද නිසා විදුලිබිල වැඩි වෙයි කියලා. නමුත් මොනම හේතුවක් නිසාවත් මෙම අයවැය හේතුකරගෙන විදුලිබිල වැඩිවෙන්නේ නැහැ. ඒ වගේම අපේ රටේ සිටිනවා සැඟවිලා සිටින ඉතාම දුප්පත් අහිංසක පිරිසක්, තවමත් විදුලි බලය නැතිව. විදුලිය ගන්න මුදල් නැතිව. ඒ පිරිසට රු. 40,000ක විශේෂ මුදල් පහසුකම ලබාදීලා, නිවාස අයිතිය හෝ වෙනත් කිසිඳු කෝනදේසියක් නොමැතිව, ඉතාම සරල ක‍්‍රමවේදයක් යටතේ පදිංචි වී සිටින බව ග‍්‍රාම නිලධාරි සහතික කරනවානම් ඒ සහතිකය මත, දින කිහිපයක් ඇතුළත ඒ පිරිස් වලට විදුලිය දෙන්න දැන් අපි සූදානම්. මේක ඉතාමත් විප්ලවකාරි දෙයක්. රටේ බලශක්ති සුරක්ෂිතතාවය සහ ජනන සැලැස්ම පිළිබඳව දිගුකාලීන විසඳුම් සෙවීමට අපි තවදුරටත් ගැඹුරු සාකච්ඡුාවල නිරත වෙනවා ඒ අපේ වගකීම නිසා” යැයි පැවසීය.
මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති, සාමාන්‍යාධිකාරි, ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපති, ලංකා ට‍්‍රාන්ස්ෆෝමර්ස් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරි, පරමානුක බලශක්ති අධිකාරියේ සභාපති ඇතුළු නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.