Posted by in Latest News
රටේ විදුලිබල නිෂ්පාදනය ඉහළ තත්ත්වයකට ගෙනඒම සඳහා පුත්තලම නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය විශාල දායකත්වයක් සපයන බැවින් ඒ සඳහා අඛණ්ඩව ගල්අඟුරු සැපයීම ඉතා වැදගත් වේ. ඒ අනුව ලෝකයේ ප‍්‍රධානතම ගල් අඟුරු නිෂ්පාදනය කරන රටක් වන දකුණු අප‍්‍රිකාව සමග ගල් අඟුරු ආනයනය පිළිබඳව සාකච්ඡුාවක් පසුගියදා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්විනි.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සහ දකුණු අප‍්‍රිකානු මහ කොමසාරිස් ජී. කියු. එම්. ඩොයිච් මහතා (South African High Commissioner Mr. G. Q. M. Doidge) සමග පැවති මෙම සාකච්ඡුාවේ මූලික අරමුණ වූයේ ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් දෙරට අතර එකඟතාවයක් ඇතිකර ගැනීමයි. මෙහිදී අදහස් දක්වමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ දකුණු අප‍්‍රිකානු රජය විසින් තම රටට ගල් අඟුරු සැපයීමට කැමැත්ත ප‍්‍රකාශ කිරීම ශ‍්‍රී ලංකාවට වඩාත් වාසිදායක තත්ත්වයක්වන බැවින් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡුා පවත්වා අතිගරු ජනාධිපතිතුමන් ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඒ පිළිබඳ දැනුවත් කිරීමට තමා බලාපොරොත්තු වන බවයි.
2016 වසර මුල් මාසය වනවිට ශ‍්‍රි ලංකාවේ විදුලියනය 100% කිරීමට තමා අදහස් කර ඇති බවත්, දෛනිකව ඉහළ යන විදුලි ඉල්ලූම සපුරාලීම වෙනුවෙන් සාම්ප‍්‍රදායික බලශක්ති ප‍්‍රභවයන් වෙනුවට මිල අවම පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් වෙත යොමුවූ අතර විදුලිබල සංරක්ෂණ ක‍්‍රියාවලියකට අවතීර්ණ වූ බවත් පැවසූ අමාත්‍ය සියඹලාපිටිය මහතා එමගින් ගෝලීය උෂ්ණත්වය ඉහළයාම සහ ඒ තුළින් සිදුවන්නාවූ දේශගුණික විපර්යාස සඳහාද විසඳුම් ලබාගත හැකි බව පැවසීය.
එසේම දෙරට අතර දීර්ඝකාලීනව පවතින ද්වීපාර්ශීක රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා තවදුරටත් තහවුරු කරමින්, දකුණු අප‍්‍රිකාව තුළ බලශක්ති අර්බුදයට විසඳුමක් වශයෙන් විකල්ප බලශක්ති ප‍්‍රභවයන් ව්‍යාප්ත කරලීමට ශ‍්‍රී ලංකා රජයේ පූර්ණ සහාය ලබාදීමට බලාපොරොත්තු වන බවද, අමාත්‍ය සියඹලාපිටිය මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.