ශ‍්‍රී ලංකාවට හිමි භූමියෙන් 1/3 ක් පාංශු ඛාදනයට ලක්වී තිබෙනවා.  ඒ නිසා පාංශු සහ ජල මූලාශ‍්‍ර සංරක්ෂණය කෙරෙහි  දැඩි අවධානයක් යොමුකළ යුතුයි
27 0

Posted by  in Latest News

ශ‍්‍රී ලංකාවට හිමි භූමියෙන් 1/3 ක් පාංශු ඛාදනයට ලක්වී ඇති බවට තක්සේරු කර ඇතැයිද, ලොව පුරා ගත්කළ පාංශු සහ ජල මූලාශ‍්‍ර සංරක්ෂණය කෙරෙහි දැඩි අවධානයක් යොමුකළ යුතු බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ ගලධාරි හෝටලයේදී පැවති “පාංශු ඛාදනය අවම කිරීම සඳහා පාංශු සංරක්ෂණ ක‍්‍රියාදාමයන් යොදා ගැනීම සහ න්‍යෂ්ටික ක‍්‍රමවේදයන්ගේ කාර්යභාරය” යන්නෙන් ජාතික පරමාණුක බලශක්ති අධිකාරිය විසින් සංවිධානය කළ ජාත්‍යන්තර සමුළුවේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමින් ප‍්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා …,

“පාංශු ඛාදනයේ ප‍්‍රතිඵලයක් ලෙස ජල මූලාශ‍්‍ර වැසීයාමත්, ඛාදනය වන පස් ජලාශයන්ගේ පතුලට එක්වීමත් නිසා ජල ධාරිතාව අඩුව තිබෙනවා. පාංශු ඛාදනය වැලැක්වීමට නිසි පියවර නොගතහොත්, එය ලෝකයේ ආහාර සුරක්ෂිතතාවයට දැඩි බලපැමක් අනාගතයේදී එල්ල කරයි.

ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ කෙරෙන එළවළු, තේ තවන් දැමීම, අර්තාපල් වගාවන් සඳහා ඉවක් බවක් නොමැතිව යොදාගැනීම නිසා හා සංවේදී ප‍්‍රදේශවල වනාන්තර එළිකරමින් ජනතාව පදිංචි කරවීම නිසා විශාල ලෙස පසෙහි සුරක්ෂිතභාවය හීනවී ගොස් තිබෙනවා. මෙවැනි සමුළු හරහා සිදුකෙරෙන සමීක්ෂණ තුළින් රටේ පාංශු සංරක්ෂණය කෙරෙහි වැදගත් සොයාබැලීමක් වෙනුවෙන් ප‍්‍රවේශයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා” යැයි පැවසීය.