මන්නාරම් ද්‍රෝනියේ ගෑස් සම්පත සංවර්ධනයට රජය පියවර ගනී
10 0

Posted by  in News

මෙගාවොට් 375 ක සුළං බලශක්ති පද්ධතියක් ඉදිකිරීමට සැලසුම්

මන්නාරම් ද්‍රෝනියේ ගෑස් සම්පත සංවර්ධනයට පසුගියදා කැබිනට් මණ්ඩලය මගින් අන්තර් ජාතික ටෙන්ඩර් කැඳවීමට තීරණය කළ බවත්, එය මහවැලි ව්‍යාපාරය වැනි මහා පරිමාණ ව්‍යාපෘති වලට වඩා ඉතා බලවත් සංවර්ධන ක‍්‍රියාවලියක් බව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තියෙන් තවත් මෙගාවොට් 100 ක් ලබාගැනීමේ ව්‍යාපෘති 60ක් වෙනුවෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අනුමැතිය ලබාදීමේ අවස්ථාවට එක් වෙමිනි. මෙහිදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අතින් පුනර්ජනනීය බලශක්තිය නිපදවීමේ අනුමැතිය සහිත ලේඛණ අදාල පාර්ශවයන් වෙත ලබාදීම සිදුවිය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ, මෙය ලංකා ඉතිහාසය වෙනස් කරන ක‍්‍රියාවලියක් බවත්, එමගින් ශ‍්‍රී ලංකාව සුපිරි බලවත්, ධනවත් රටක් බවට පත්වනවාද, එසේත් නැත්නම් තවදුරටත් රට ණය බරින් පිරීගිය සමාජමය වශයෙන් පිරිහීමට ලක්වෙමින් බිඳවැටීමට පත්කරනවාද යන්න ජනතාව තීරණය කළයුතු බවත්ය. තවද මේ වසරේදී ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරයෙන් සම්පේ‍්‍රෂණ පද්ධතිය සේම සුළං බලශක්ති පද්ධතියක් ඉදිකිරීමටත්, එය මෙගාවොට් 100 කින් ආරම්භ වන අතර අනතුරුව මෙගාවොට් 375 දක්වා වර්ධනය කිරීමටත් බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙහිදී අනුමැතිය ලත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 60 අතරට කුඩා ජලවිදුලි බලාගාර 52 ක්, දැව බලාගාර 05ක්, සූර්ය තාප බලාගාර 01ක් සූර්ය බලාගාර 01 ක් සහ ජීව වායු බලාගාර 01 ක් ඇතුලත් වේ. මෙම ව්‍යාපෘති 60 නිමවීමත් සමගින් පුනර්ජනනීය බලශක්තියෙන් තවත් මෙගාවොට් 100 ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරේ. ඒ අනුව මේ වනවිට මෙගාවොට් 450.5 ක වන ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනණීය බලශක්තියෙන් වන දායකත්වය, මෙගාවොට් 550.5 දක්වා ඉහල යනු ඇත.