2020 දී ශ්‍රී ලංකාවේ මුළු බලශක්තියෙන් 20% කට අධික ප්‍රමාණයක්  සූර්ය බලයෙන් සහ සුළන් බලයෙන්
29 0

Posted by  in Latest News

“එහි පළවෙනි පියවර වශයෙන් අපි පසුගියදා මෙගාවොට් 260 ක් අපි මේ ක්ෂේත්‍රයේ බලශක්තිය නිපදවූවා. එය සමස්ථ බලශක්තියෙන් 15% ක් පමණ වෙනවා. අපි ඉතා නුදුරේ තවත් මෙගාවොට් 100 ක් සඳහා වැඩකටයුතු සකස් කරනවා”

“අපි දැන් අලුත් තලයකට පිවිසෙනවා බලශක්තියෙන් ස්වයංපෝෂිත වීම ගැන. 2011 වසරේ වැඩි ප්‍රසිද්ධියකින් තොරව ඉතා වැදගත් සිදුවීමක් සිදුවුණා ඒ තමා මන්නාරම් ද්‍රෝණියේ ගෑස් නිධි දෙකක් සොයාගැනීම. බැරිකියුඩා සහ ඩොරැඩෝ නමින් හඳුන්වන ඒ ගෑස් ළිං දෙක අපි 2011 සැප්තැම්බර් මාසයේදී සොයාගනු ලැබුවා. අවාසනාවකට තාමත් අපිට එහි ප්‍රතිඵල ලබාගන්න බැහැ. ඒ නිසා අපි තීරණය කර තිබෙනවා එම ගෑස් කොළඹට ගෙනඑන්න. පළමුවෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ තෙල්වලින් දුවන විදුලි බලාගාරයන් ක්‍රියාත්මක කරන්න. ඊලඟට ප්‍රවාහන ක්ෂේත්‍රයට ගෑස් හඳුන්වා දෙන්න. ඉතින් ඒ මගින් අපි බලාපොරොත්තු වෙනවා 2025 වෙනකොට විදේශවලින් ආනයනය කරන සියලුම තෙල්, ගල් අඟුරු භාවිතය අවම කරලා ශ්‍රී ලංකාව රට තුළම ගොඩනඟන බලශක්තියෙන් ස්වයංපෝෂිත කරන්න. ”

“ඒ වගේම අනාගතයේ තෙල්, ගල් අඟුරු, ගෑස්වල පවතින පාරිසරික ගැටළු සහ මූල්‍යමය ගැටළු නිසා අපි විශාල වශයෙන් පිරිසිදු බලශක්ති ප්‍රභව එහෙම නැත්නම් සුනිත්‍ය බලශක්ති ප්‍රභව සුළං බලය සහ සූර්ය බලය වෙතට යොමුවෙමින් තිබෙනවා. 2020 වෙනකොට මෙගාවොට් 650ක් එනම් අපේ මුළු බලශක්තියෙන් 20%කට අධික ප්‍රමාණයක් සූර්ය බලයෙන් සහ සුළන් බලයෙන් ලබාගන්න අපි බලාපොරොත්තු වෙනවා. ”

“අපට අති විශාල සුළන් බලයක් තිබෙනවා ඒක අපේ විදුලිබල අවශ්‍යතාවය වගේ කීපගුණයක්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා 2035 වෙද්දී සම්පූර්ණ සූර්ය බලය, සුළන් බලය, ජීව ඉන්ධන සහ ජල විදුලිය කියන ක්ෂේත්‍ර තුළින් විශාල විප්ලවයක් මේ රට තුළ කරන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා එන මස විදුලියෙන් දුවන මෝටර් රථ සඳහා විශේෂ අය කිරීයක් හඳුන්වා දෙන්න. ඉතින් අපි ඒ මඟින් බලාපොරොත්තු වෙන්නේ පිරිසිදු ප්‍රවාහන ක්ෂේත්‍රයක් ඇති කරන්න ඒ වගේම දුම්රිය සේවය විදුලිකරණය කරන්න. මම ඉතාම කණගාටුවෙන් කියනවා මේ රටේ විදුලිබල ක්ෂේත්‍රයේ පියා වූ විමලසුරේන්ද්‍ර ඉන්ජිනේරු මහතා එතුමා 1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගිහිල්ලා ලංකාවේ විදුලි දුම්රිය ගැන විශාල වැඩපිළිවෙලක්, සැළසුමක් ඉදිරිපත් කළා. දැන් අවුරුදු 80 ක් වෙලත් තාමත් අපිට ඒක ක්‍රියාත්මක කරගන්න බැරිවෙලා තියෙනවා දැන් අපි ඒක ක්‍රියාත්මක කරන්න යනවා දේශීය ඉංජිනේරුවන්ගේ සහයෙන්.”

“තියෙන ලොකුම ගැටලූවක් තමයි මොනවා හරි ව්‍යාපෘතියක් කරන්න කිව්වාම මෙගාවොට් 10ක බලාගාරයක් හදන්න කිව්වත් පිටරටින් උපදේශකත්වය බලාපොරොත්තු වීම. ඒ නිසා අපි ඒ තාක්ෂණික වහල් යුගය අවසන් කරලා අපි අපේම ඉංජිනේරු ශක්තිය මත පියවර තැබිය යුතුයි. ඒ ශ්‍රේෂ්ඨ ඉංජිනේරුවන් වන විමලසුරේන්ද්‍ර මහතා ඒ වගේම අපිට මතක් වෙනවා අපේ සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ විශාල විප්ලවයක් කළ ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතා වැනි පිරිස් ගොඩනගපු ඒ ඉංජිනේරු ක්ෂේත්‍රය ආඩම්බරකාර තත්ත්වයකට ගෙන යන්න අපේ මේ දරුවන්ට භාරයි. ඉදිරි කාලයේදී රට තුළ ශක්තිමත් ඉංජිනේරු ක්ෂේත්‍රයක් ගොඩනඟන්න. ඒ සඳහා අපගේ ශක්තිය ලැබිය යුතුයි. අනාගත ආර්ථිකය අනිවාර්යයෙන්ම තාක්ෂණය මත ගොඩනැගිච්ච දැනුම් උත්පාදක ආර්ථිකයක්. එහි ප්‍රධාන ක්‍රියාකරුවා, ප්‍රධාන දායකයා ඉංජිනේරුවයි. ඒ නිසා ඔහු දේශපාලන ක්ෂේත්‍රයේ පමණක් නොවෙයි සෙසු ක්ෂේත්‍රවලත් ඉදිරි කාලයේදී බලගතු මෙහෙවරක් ඉටු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ”

“ලෝකයේ රටවල් ඉදිරියට ගියේ අපේ ආසියානු කලාපයේ බොහෝ දුරට ඉංජිනේරුවන්ගේ ප්‍රබල දායකත්වය නිසයි. චීනයේ සෑම ඇමතිවරයෙක්ම ඉංජිනේරුවෙක් චීනය පාලනය කරන ප්‍රධාන දේශපාලන මණ්ඩලයේ 7දෙනයි ඉන්නේ ජනාධිපතිතුමත් ඇතුළුව. ඔවුන් 7 දෙනාම ඉංජිනේරුවෝ. ඒ වගේම වේගයෙන් නවෝත්පාදන ආර්ථිකයේ මහා ඉදිරි පිමි ළඟා කරගත්ත කොරියාව, ජපානය, තායිවානය එවැනි රටවල් බොහෝ ඉදිරි පිමි ළඟා කරගත්තේ ඉංජිනේරුවන් දේශපාලන ක්ෂේත්‍රයේ නියැලීමෙන්. ඉතින් ඒ නිසා මේ නැග එන ආසියාව ලෝක ආර්ථිකයේ සමාජයේ වෙනස ඇති කළේ ඉංජිනේරුවන් පිළිබඳ දේශපාලන ක්ෂේත්‍රයේත් සමාජ ක්ෂේත්‍රයේත් විශ්වාසය තැබීමෙන්. මේ රටේ වෘත්තීයවේදීන් ඉදිරියේදී වැඩි වැඩියෙන් මේ ක්ෂේත්‍ර පාලනය කිරීමට ඉදිරිපත් වේවි කියලා බලාපොරොත්තු වෙමින් අපගේම වූ ශක්තිමත් ඉංජිනේරු ප්‍රජාවක් ඉදිරි කාලයේදී බිහිකරගන්නට අපි උත්සහ කරමු. ” යැයි පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ INCO 2015 ප්‍රදර්ශණයේ අවසන් දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි. මෙම ප්‍රදර්ශනය බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවේදී පැවැත්විනි.