වසර 2030 වන විට බලශක්තියෙන් ස්වාධිපත්‍ය වූ සාර්ක් කලාපයක් වෙත
27 0

Posted by  in Latest News

*බලශක්තිය අතින් අපට ස්වාධීන වියහැක්කේ අප ෆොසිල ඉන්ධන කෙරෙහි තබන වැඩිබර අඩුකර ගැනීම සඳහා හරිත බලශක්තිය ප්‍රචලිත වූ දිනකදී පමණයි.

*ඉහල ආදායම් තත්ත්වයක් සහිත රටක් බවට පත්වීම සඳහා අප විසින් අපටම ආවේණික වූ ක්‍රමවේදයක් සොයාගත යුතුයි.

අමාත්‍ය පාඨලි චම්පික රණවක

වසර 2030 වන විට බලශක්තියෙන් ස්වාධිපත්‍ය සහ නිදහස් කලාපයක් බවට පත්වීම සඳහා සාර්ක් කලාපීය සාමාජික රටවල් එකමුතුව කටයුතු කිරීමේ වැදගත්කම ඉන්දියාවේ හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා අවධාරණය කර සිටී.

අබ්දුල් කලාම් මහතා විසින් මෙම අදහස් පළකරන ලද්දේ, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද දැනුම පදනම් කරගත් ආර්ථිකයකට බලශක්ති ප්‍රවේශය ජාත්‍යන්තර සමුළුවේ ඊයේ (26) පැවති සමාරම්භක දේශනයට එක්වෙමිනි.

“ලෝකයේ දැනට භාවිත වන ෆොසිල ඉන්ධන හේතුවෙන් අපගේ පෘථිවියට සහ වායුගෝලයට සිදුවන හානිය මෙතකැයි කියන්න බැහැ. මේවා පරිභෝජනය තුලින් ලෝකවාසීන් වසරකට වායුගෝලයට මුදා හරින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ගිගා වොට් 30 ක් ඉක්මවනවා. සමාන සංස්කෘතියක් සහ පරිසර තත්ත්වයක් පවතින අප කලාපයේ රටවල් එකතු වී ලෝකයේ කුරිරු ලෙස දේශපාලනීකරණයට පවා ලක් වෙලා තියෙන මේ ෆොසිල ඉන්ධන භාවිතය කෙරෙහි දක්වන නැඹුරුව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතය දක්වා පරිවර්තනය කල යුතුයි. පෘතුවිය මිනිස් වාසයට සුදුසු ස්ථානයක් බවට පත් වනු ඇත්තේ එවිටයි,” ආචාර්ය කලාම් අවධාරණය කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් පළකරමින් එතුමා මෙසේ පැවසීය…….

ඉන්ධන වෙනුවට ප්‍රවාහනය සඳහා විදුලිය භාවිතා කිරීම සහ විදුලි ජනන ප්‍රභවයන් ලෙස ගල් අඟුරු හෝ ඩිසල් වැනි ඉහල කාබන් විමොචනයකින් යුතු ප්‍රභවයන් භාවිතය වෙනුවට සුළං බලය, සුර්ය ශක්තිය හෝ ජීව වායු වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලි නිෂ්පාදනය කෙරෙහි යොදාගැනීම මේ වනවිට ලොව පුරා සිදුවෙමින් පවතින මුඛ්‍ය බලශක්ති පරිවර්තනයන් දෙකකි.

බලශක්තිය අතින් අපට ස්වාධින විය හැක්කේ අප ෆොසිල ඉන්ධන කෙරෙහි තබන වැඩි බර අඩුකර ගැනීම සඳහා හරිත බලශක්තිය ප්‍රචලිත වූ දිනකදී පමණයි. හරිත බලශක්තිය ප්‍රවර්ධනය සඳහා සාර්ක් කලාපීය ජාතින් එකට එක් වී ඩොලර් මිලියන 100 ක අරමුදලක් පිහිටු විය යුතුයි කියල මම යෝජනා කරනවා. ඒ හරිත බලශක්ති ප්‍රභවයන් පිළිබඳව පර්යේෂණ පැවැත්වීම සඳහායි.

ඉන්දියාව මේ වන විට සාගරයේ සහ වායුගෝලයේ වන වෙනස්වීම් මැනීම සඳහා සාගර චන්ද්‍රිකා දෙකක් ස්ථාපනය කර තිබෙනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට පුළුවන්නම් ඒකාබද්ධව තව චන්ද්‍රිකාවක් ස්ථානගත කරන්න විශේෂයෙන්ම කලාපයේ සියලුම සාගර එකට යා කරමින් එය හරිත ජාතින් සහ හරිත සාගර කලාපය තුළ බිහි කිරීමට මහත් පිටුබලයක් බවට පත්වේවී .

මෙම අවස්ථාවට එක් වූ විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා…….

රටක් ලෙස ගත් කල ශ්‍රී ලංකාව අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයු අපේක්‍ෂාව, යටිතල පහසුකම් සහ කාන්තාවන් බලගැන්වීම අතින් ඉදිරියෙන් සිටියද ලෝකයේ අද පවත්නා දැනුම් ආර්ථිකයන් සහ නව නිපැයුම් අතින් ගත් කල සිටින්නේ ඉතාමත් පහල මට්ටමක. ලෝකයේ රටවල් 143ක් අතරින් නව නිපැයුම් දර්ශකයේ ලංකාවට හිමිවෙන්නේ 105 වන ස්ථානය වන අතර දැනුම් ආර්ථික දර්ශකයේ 101 ස්ථානය ගන්නවා.අප ඉදිරියේ අද තියෙන විශාලතම අභියෝගයන් වන්නේ බලශක්ති සුරක්ෂිතතාවය සඳහා මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස මුහුණ දී ඇති උගුලින් ගැලවෙන්නේ කොහොමද කියන එකයි.

ඉහළ අදායම් තත්ත්වයක් සහිත රටක් බවට පත්වීම සඳහා අප විසින් අපටම අවේණික වූ ක්‍රමවේදයක් සොයා ගතයුතු වෙනවා.ඒ කරගෙනයාමේදී අමතක නොකළ යුතු වඩාත් වැදගත් වන අරමුණු හතරක් අප විසින් ජය ග‍තයුතු වෙනවා.

පළමු වශයෙන්ම ධරණීය සංවර්ධන වැඩපිළිවෙලක් තුලින් ආර්ථික සෞභාග්‍ය ළඟා කරගත යුතුවෙනවා. දෙවනුව ජෛව විවිධත්වය ආරක්ෂා කර ගනිමින් අපගේ පරිසරය සංරක්ෂණය කලයුතු වෙනවා. ජාති, කුල, ආගම, පන්ති භේදයකින් තොර සමාජ සමානාත්මතාව ළඟා කරගැනීම ඊළඟ අභිප්‍රාය. අවසාන වශයෙන් ඇත්තේ මානව වර්ගයාට අත්‍යවශ්‍යම වූ සාධකයයි. එනම් පුද්ගල සතුට සංවර්ධනයකර ළඟාකර ගැනීම අපගේ අවසාන ඉලක්කය විය යුතුයි. මේ කරුණු හතර සමාජ සෞභාග්‍ය සහ ආර්ථික සමබරතාව ළඟාකර ගැනීමට ජාතියකට මහත් සේ වැදගත් වෙනවා. යැයි පැවසීය.