ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය, ගුවන්තොටුපල සහ වරාය ස්වාධීන කොමිසමක් මගින් පාලනය විය යුතුයි
22 0

Posted by  in Latest News

රට ආර්ථිකමය වශයෙන් ඉදිරියට ගෙනයාමට නම්, උපාය මාර්ගික වශයෙන් නිසි විධිමත් කළමනකාරීත්වයක් අවශ්‍යයි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංවිම, ගුවන්තොටුපල සහ වරාය ස්වාධීන කොමිසමක් මගින් පාලනය වියයුතු බවත්, රට ආර්ථිකමය වශයෙන් ඉදිරියට ගෙන යෑමට නම් උපාය මාර්ගික වශයෙන් නිසි විධිමත් කළමනාකාරීත්වයක් අවශ්‍ය බවත් විදුලි බලහා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ මහ.තා මෙම අදහස් ප්‍රකාශකළේ, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පදනම් ආයතනයේදී පැවැති ප්‍රශස්ත ජාතික ප්‍රතිපත්ති සැකසීමේ වැඩසටහනට සහභාගී වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කරනු ලැබුවේ රටතුළ ඉහළ ආයතන වන ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලි බලමණ්ඩලය, ගුවන් තොටුපල, වරාය වැනි ආයතන ස්වාධීන කොමිසමකින් පාලනය විය යුතු වූවත් ඒ යෝජනාව සඳහා මෙතෙක් සහයෝගය ලැබී නොමැති බවයි. රට ආර්ථිකමය වශයෙන් ඉදිරියට ගෙන යෑමට උපාය මාර්ගික වශයෙන් නිසි විධිමත් කළමනාකාරීත්වයක් අවශ්‍ය බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදි.

මෙහිදී අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා “ලංකා විදුලිබල මණ්ඩලය තව වසර දහයක් ඇතුළත තාක්ෂණික වශයෙන් අහෝසිවිය හැකියි. 2002 වර්ෂයේදී ලංකා විදුලි බල මණ්ඩලය දේශපාලනය විසින් කොටස් හයකට බෙදා දැක්වීමට උත්සහ කළා. ඒ දේශපාලනික වශයෙන් තාක්ෂණික වශයෙන් මේ වනවිට විශාල ප්‍රශ්නයක් ඇතිව තිබෙනවා. ප්‍රධාන විදුලි පාරිභෝගිකයෝ ජාලයෙන් ඉවත් වෙලා එය 2010 දී හඳුනා ගැනීමට හැකි වූ තත්ත්වයක්. සමහර රටවල මේ වනවිටත් ප්‍රධාන විදුලි බල පද්ධතිය අහෝසි වන තත්ත්වයට පත්වෙලා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විදුලි අවශ්‍යතාවයන් ඉදිරියේදී අහෝසි වෙමින් පවතිනවා. ලෝකයේ සිදු වෙමින් පවතින සීඝ්‍ර ක්‍රියාවලිය අවබෝධ කරගෙන නව තාක්ෂණ විප්ලවයට ගැලපෙන ප්‍රතිපත්ති සම්පාදනය විය යුතුයි. 1992 දී ශ්‍රමබලකායේ වර්ධනය ජනගහණයේ වර්ධනයට වඩා වේගයෙන් වර්ධනය වුණා. නමුත් මේ වනවිට එය අඩුවෙමින් පවතිනවා. එම නිසා මේ කාලය තුළ ආර්ථික ක්‍රියාකාරීත්වයත් අත්පත් කර ගැනිමට ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍යය යැයි පැවසීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රතිපත්ති සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමතිලක, ඩී.ඊ.ඩබ්. ගුණසේකර, කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යය සිරි හෙට්ටිගේ, හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි එස්. රන්නුගේ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සම්බන්ධ විය.