රාජ්‍ය අංශයේ විදුලිබල සංරක්ෂණයට කැබිනට් අනුමැතිය
18 0

Posted by  in Latest News

x වසරක් තුළ තෙල් සහ විදුලිය පරිභෝජනය සියයට දහයකින් අඩුකිරීමට සැලසුම්

x රාජ්‍ය අංශයේ සේවකයින් අතර විදුලි සංරක්ෂණ තරගයක්

x වාහන සහ විදුලි උපකරණ මිලදී ගැනීමේදී විධිමත් ක‍්‍රමවේදයක් අනුගමනය කිරීමට පියවර

රටේ බලශක්තියේ ඉල්ලූම වැඩිවන විට මෙතෙක් සැපයුම සිදුකළත්, බලශක්ති ඉල්ලූම් කළමනාකරණය පිළිබද විධිමත් මහා පරිමාණ වැඩපිළිවෙලක් ඇතිකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අරලිය ගහ මන්දීරයේදී පැවති බලශක්ති සංරක්ෂණය පිළිබඳව දිස්ත‍්‍රික් ලේකම්වරුන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.

තෙල් සහ විදුලිය අනාගතය වෙනුවෙන් ඉතිරි කිරීමේ ප‍්‍රධානතම අංශය වන රාජ්‍ය අංශයේ. බලශක්ති සංරක්ෂණ වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත. ඒ අනුව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, හා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමග මෙම වැඩසටහන රටේ සෑම රාජ්‍ය ආයතනයකම ක‍්‍රියාත්මක කෙරේ.

මෙහිදී එක් එක් රාජ්‍ය ආයතන භාවිතා කරන මාසික තෙල් සහ විදුලිය සඳහා යන වියදමින් සියයට දහයක් ඉතිරි කිරීමට පියවර ගැනේ. රාජ්‍ය ආයතන සඳහා රථවාහන මිලදී ගැනීමේදී තාක්ෂණික වශයෙන් ඉන්ධන භාවිතය අඩු, වැඩි කාර්යක්ෂමතාවක් සහිත රථවාහන මිලදී ගැනීමටත්, විදුලි බලයෙන් සහ දෙමුහුන් ආකාරයෙන් ක‍්‍රියාත්මක රථවාහන මිලදී ගැනීමටත් මූලික සැලසුම් සකස් කෙරේ. ඉදිරියේදී මිලදී ගැනීමට නියමිත විදුලි උපකරණ රටේ පවතින බලශක්ති ප‍්‍රතිපත්තීන් වලට අනුකූලව වැඩි කාර්යක්ෂමතාවක් සහිත උපකරණ මිලදී ගැනීමටත් පියවර ගැනේ. මේ වනවිට රාජ්‍ය ආයතනවල පවතින අඩු කාර්යක්ෂමතාවක් සහිත විදුලි උපකරණ නිවැරදි විගණනයක් මගින් හඳුනාගෙන, ඒ සඳහා ඉහළ විදුලි කාර්යක්ෂමතාවක් සහිත නව උපාංග ලබාදීමේ වැඩපිළිවෙලක්ද සැලසුම් කෙරේ.

රටේ මහජනතාවට විදුලිය හා තෙල් භාවිතයේදී ආදර්ශමත් මෙහෙවරක් ඉටුකිරීම රාජ්‍ය සේවකයින්ගේ යුතුකම හා වගකීම බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ප‍්‍රකාශ කරයි.

දිස්ත‍්‍රික් ලේකම්, ප‍්‍රාදේශීය ලේකම් හා ග‍්‍රාම නිලධාරි මට්ටමට බලශක්ති සංරක්ෂණ වැඩපිලිවෙල මගින් රාජ්‍ය යාන්ත‍්‍රණය ශක්තිමත් කර, ග‍්‍රාමීයව ජීවත්වන කුඩා පවුල් ඒකකය දක්වාම තෙල් සහ විදුලිය ඉතිරි කිරීමේ කාර්යක්ෂම වැඩපිළිවෙල හඳුන්වාදීමට යෝජිතය. ග‍්‍රාමීය අංශ වෙත මෙම පණිවිඩය ගෙනයනවාත් සමග සමස්ත රාජ්‍ය සේවකයින් නියෝජනය වන පරිදි තෙල් සහ විදුලි සංරක්ෂණ තරගාවලියක් ආරම්භ කිරීමටද සැලසුම් සකස් කර ඇති බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ ශ‍්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සමස්ත දිවයිනම ආවරණය වන පරිදි දිස්ත‍්‍රික් ලේකම්වරුන් සහභාගීවූ අතර මේ සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ, සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්. එම්. ආර්. පද්මසිරි යන මහත්වරුන් සහභාගී වූහ.