ඉතාම ගෞරවාන්විත සේවයක යෙදී සිටන ඔබ සැමට අද අප ආරාධනා කරන්නේ, ඊටත් වඩා ගෞරවාන්විත සේවයක් වන බලශක්ති සංරක්ෂණ වැඩපිළිවෙලට දායකත්වය ලබාදෙන ලෙසයි
29 0

Posted by  in News

“ත්‍රස්තවාදී මර්දනය කිරිම, අපරාධ මර්දනය කිරිම, රට ජාතිය ආරක්ෂා කිරීම වැනි ඉතාම ගෞරවාන්විත සේවයක යෙදී සිටන ඔබ සැමට අද අප ආරාධනා කරන්නේ, ඊටත් වඩා ගෞරවාන්විත සේවයකට දායකත්වය දෙන්න කියලයි. ඒ තමයි අපේ අනාගත පරපුර වෙනුවෙන් බලශක්ති සංරක්ෂණ වැඩපිළිවෙලට දායකවිම සහ ඒ සඳහා ජනතාව පෙළඹවීම. ඒක ඔබටත් අපිටත් අපේ දරුවන්ටත් ඉතාම වැදගත්. අපේ පොලිස් ස්ථාන, නිවාස, සහ පුරවැසියන් බලශක්ති සංරක්ෂණ වැඩපිළිවෙලට යොමු කරගැනීමට නායකත්වය, දායකත්වය ලබාගැනීමයි, පොලිස් නිලධාරීන් වශයෙන් අපි ඔබතුමන්ලාගෙන් බලාපොරොත්තු වන්නේ”යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

බලශක්ති සංරක්ෂණය වෙනුවෙන් රාජ්‍ය ආයතන යොමුකිරීමේ අරමුණෙන්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් දියත් කර ඇති වැඩසටහනේ එක් පියවරක් වශයෙන්, කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරින් ඉලක්ක කරගනිමින් පැවති බලශක්ති සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගී වෙමිනි. අද (29) පෙරවරුවේ කොළඹ දිසාව, නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී මෙම වැඩසටහන පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක‍්වූ අමාත්‍ය රණවක මහතා,

“අද ලෝකය පුරාම විශාල ගැටුම් ප්‍රමාණයක් තිබෙනවා. නමුත් මේ කාලය ලෝක ඉතිහාසයත් එක්ක බැලුවම සාමකාමියි. අද ලෝකයේ ගැටළු කියලා හඳුනාගන්න පුළුවන් සිවිල් බිඳවැටුම් 26 ක් තියෙනවා. මේ 26 න් 24 ක්ම සම්බන්ධවෙලා තියෙන්නේ බලශක්තිය එහෙම නැත්නම් තෙල්, ගෑස්, ගල් අඟුරු සම්පත තියෙන රටවල් අතර. ඒ කියන්නේ ගැටුම්වල තෝතැන්නක් බවට අද බලශක්ති ක්ෂේත්‍රය පත්වෙලා. බලශක්තිය අත්පත් කරගන්න, බලශක්තිය ප්‍රවාහනය කරන්න, බලශක්තිය භාවිතා කිරීම සම්බන්ධයෙන් විශාල තරගයක් ලෝකය පුරාම ඇතිවෙලා තියෙනවා. ඒ නිසා අපි ඉතාම ප්‍රවේශමෙන් ඇතුල් වියයුතු ක්ෂේත්‍රයක් තමයි බලශක්ති ක්ෂේත්‍රය. මේකෙන් පැනනගින ගැටළු වලින් බැට කන්නෙත් අපේ සාමාන්‍ය ජනතාවයි. නීතිය හා සාමය ආරක්ෂා කරන්න කැප වෙලා ඉන්න ඔබතුමාලටම තමයි අවසානයේ මෙහි බරත් උසුලන්න වෙන්නේ” යැයි පැවසීය.

මෙම අවස්ථාවට පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති ඇතුළු කොළඹ දිසාවේ සියලුම පොලිස් ස්ථානයන් නියෝජනය කරමින් පොලිස් නිලධාරීන් සහභාගී වූහ.