“හෙටක් වෙනුවෙන් රටක්” පාසල් බලශක්ති සංරක්ෂණ වැඩසටහන අද ඇරඹේ
11 0

Posted by  in Latest News

අනාගතය වෙනුවෙන් තෙල්, විදුලිය ඉතිරිකිරීමේ අරමුණෙන් ජාතික මට්ටමෙන් ක‍්‍රියාත්මකවන “හෙටක් වෙනුවෙන් රටක්” බලශක්ති සංරක්ෂණ වැඩසටහනේ පාසල් බලශක්ති සංරක්ෂණ වැඩසටහන අද (11) කොළඹ මහානාම විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ විය.

ඊට සමගාමීව දිවයිනේ තවත් පාසල් 25 ක පෙ.ව. 7.45 ට සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂා ත‍්‍රිත්වයෙන්ම බලශක්ති සංරක්ෂණ පාසල් ප‍්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි. එමෙන්ම බලශක්ති සංරක්ෂණ වැඩසටහන සහ පාසල් බලශක්ති සමාජ පිහිටුවීමේ ව්‍යාපෘතියට අදාළ චක‍්‍රලේඛය නිකුත් කිරීමත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය ඇතිව සිදුකෙරේ.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍ය රණවක මහතා…………….

“කියමනක් තිබෙනවා එදාවේල හොයාගන්න කැමති අය මාළුබාන්න යනවා. දින ගණනක් සැලසුම් කරන අය පළවැල නෙලන්න කැලයට යනවා. මාස ගණන් සැලසුම් කරන අය වී වගා කරනවා. වසර ගණනක් සැලසුම් කරන අය පාසල් යනවා කියලා. බලශක්ති ගැටළුව දශක ගණනක බලගතු ප‍්‍රශ්නයක් නිසයි මේ වැඩසටහන පාසල් වලින් ක‍්‍රියාත්මක කළේ.

අපිට එදිනෙදා ජීවත්වෙන්න විවිධාකාරයේ බලශක්ති අවශ්‍ය වනවා. අද අපේ රට මෙන්ම ලෝකයත් විශාල බලශක්ති ප‍්‍රශ්නයකට මුහුණදී තිබෙනවා. එක පැත්තකින් මේ බලශක්තිය හිඟයි. තෙල් , ගල්අගුරු, ගෑස් තවත් දශක 4 කින් නිමවීමට නියමිතයි. ඒවා සීමිත සම්පත්. අපේ දරුවන්ට මීලඟ දශක හතරේදි ජීවත්වෙන්න වෙන්නේ තෙල්, ගල්අගුරු ගෑස් නැති ලෝකයක. මේ තත්ත්වය මත මුළු ලෝකයම නතර වෙන්න ඉඩ තියෙනවා. දැන් සිටම මේකට අපි සූදානම් වියයුතුයි. ඒකයි අපි මේ බලශක්ති සංරක්ෂණ වැඩසටහන් කරන්නේ.

ඉන්ධන දහනයේදී සෑම විටම කාබන් නිකුත් වෙනවා. මේ තුළින් දිනපතාම පෘථිුවියේ උෂ්ණත්වය ඉහළ යනවා. ලෝකයේ එක පැත්තක මිනිස්සු උෂ්ණත්වය නිසා පීඩා විඳිනවා. තවත් පැත්තක මිනිස්සු ශීතල නිසා මියනවා. එක පැත්තක මිනිස්සු ගංවතුර නිසා මියයනවා. තවත් පැත්තක මිනිස්සු නියඟයෙන් මියයනවා. තවත් පැත්තක භූකම්පන නිසා මියයනවා. මේ සියල්ලක්ම ස්වභාවික උවදුරු වලින්ම ඇතිවන දේවල් නෙමෙයි. අපි ඉන්ධන දහනයෙන් ඇතිවූ විපත්. මේ නිසා මේ පරිසරය රැුකගැනීම හුදු ගහකොළ රැුකගැනීම පමණක්ම නෙමෙයි. මේ සාගරයත් මහපොළොවත් වායුගෝලයත් ඇතුළු සියලූම දේ අපේ දරුවන්ට ලබාදීමයි වැදගත්කම.

ඔබ අද අරඹන මේ වැඩපිළිවෙලින් නිවසේ එක විදුලි පහනක් හෝ නිවීමෙන්, නිවසේ අනෙකුත් විදුලි භාණ්ඩ පාලනයකින් යුතුව පරිහරණය කිරීමෙන්, නිසි පරිදි ජලය පරිහරණය කිරීමෙන් ඔබ කරන්නේ ඔබට සේවයක් පමණක් නෙමෙයි. මුළුමහත් මනුෂ්‍ය වර්ගයාටම කරන සේවයක් බව තරයේ මතකතබා ගතයුතුයි.

සකසුරුවම් ජාතියක් හැටියට නිවසේ, පාසලේ මේ වැඩසටහන දියත් කරගත යුතුයි. විදුලියත්, ඛනිජ තෙල් සංරක්ෂණය කිරීමට කැපවෙමු. අපේ ජීවිත වල අලුත් අර්ථයක් ඇතිකරගමු. මේ ජාතික කර්තව්‍යයට අතහිත දීමෙන් ඔබටත් අනාගතය ගොඩනැගිමට දායක වෙන්න පුළුවන්” යැයි පැවසීය.

මෙම අවස්ථාවට පාසල් සිසුන්, ගුරුභවතුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.