දැරිය හැකි මිලකට හරිත බලශක්තිය ලබාදීමේ සංවර්ධන සැලැස්ම  නුදුරේදී ක‍්‍රියාත්මක කෙරේ.
10 0

Posted by  in Latest News

* පුනර්ජනනීය බලශක්තියෙන් මෙගාවොට් 100 ක්

“බලශක්ති ක්ෂේත‍්‍රයේ සියලූම ආයතන එකම වහලක් යටතට එක්වීම සිදුවූයේ ප‍්‍රථම වතාවටයි. ඒ අනුව විදුලිය, පුනර්ජනනීය බලශක්තිය, ඛනිජ තෙල්, ඛනිජතෙල් ගවේශනය, බෙදාහැරීම මෙන්ම පරමානුක බලශක්තියද අද එකම ආයතනයක් යටතට පැමිණිලා. ඉදිරියේදී පාරිභෝගිකයාට දැරියහැකි මිලකට හරිත බලශක්තිය ලබාදීමට හැකිවන පරිදි සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කිරීමට බලාපොරෙත්තු වනවා” යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළකළේ හරිත ආර්ථිකයක් සඳහා සහයෝගය දක්වනුවස් දේශගුණික විපර්යාස පිළිබඳව අද (2015 / 06/ 10) පෙරවරුවේ ගාලූමුවදොර හෝටලයේ පැවති සමුළුවේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිනි.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රණවක මහතා ……

“ඉතිහාසයේද අපි පරිසරය සමග ඉතා කුළුපගව කටයුතු කළා. ඝර්ම කලාපීය රටක් වශයෙන් අපට මුළු වසර පුරාම සූර්යාලෝකය ලැබෙනවා. ඒ තුළින් අපගේ ගොඩනැගිලි සඳහා අවශ්‍ය බලශක්තිය ඉතා අඩුවෙනුයි වැයවෙන්නේ. ආලෝකය, වාතාශ‍්‍රය, උණුසුම වගේම සිසිල් බව නිරන්තරයෙන්ම ස්වභාවික පරිසරයෙන් ලබාගැනීමට අප උත්සාහ කළ යුතුයි.

වර්තමානයේදී අපගේ අපනයන ආදායමෙන් සියයට පනහක් පමණ පොසිල ඉන්ධන ආනයනය වෙනුවෙන් වැයවෙනවා. ආසන්න වශයෙන් එය ඇමරිකානු ඩොලර් බිලියන 05 ක්. මෙය අපගේ අවධානය යොමුවිය යුතු කරණක්. රට සංවර්ධනය කරනවානම් මේ තත්ත්වය තවදුරටත් සිදුනොවිය යුතුයි. අප අපගේ බලශක්ති ඉල්ලූම තිරසාර සහ ලාභදායි ලෙස සපුරාගැනීමට නම් විකල්ප උපක‍්‍රම සෙවිය යුතුයි. ඒ සඳහා කුඩා ජල, තාප, සූර්යය සහ අපද්‍රව්‍ය යන පුනර්ජනනීය බලශක්ති මගින් මෙගාවොට් 100 ක් තහවුරු කරගැනීමේ ක‍්‍රියාවලියකයි අපි දැන් නිරතව සිටින්නේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වශයෙන් අපගේ ප‍්‍රධාන අරමුණ වන්නේ බලශක්ති ක්ෂේත‍්‍රයේ සාමුහික සහ ක‍්‍රියාකාරී ආයතනයක් ලෙස කටයුතු කිරිමයි. ඒ තුළින් රටේ බලශක්ති සුරක්ෂිතතාව කෙරෙහි මගපාදමින් ක්ෂේත‍්‍රයේ කාර්යක්ෂමතාවට දායකත්වය සැපයීමයි. පාරිභෝගික තෘප්තිමත්භාවය සහ පාරිභෝගිකයින්ට තත්ත්වයෙන් උසස් සේවාවක් ලබාදිම, වැඩිදියුණු කළයුතු තවත් ප‍්‍රධාන කාරණයක්.

බලශක්ති සුරක්ෂිතතාව යටතේ විද්‍යුත් වාහන භාවිතය දිරිගැන්වීමට වේගවත් ආරෝපණ ස්ථාන ඉදිකිරීම සහ දුම්රිය මාර්ග විද්‍යුත්කරණය කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් මේ වනවිට අපගේ අවධානය යොමුවී තිබෙනවා. ඒ වගේම අනාගතයේදී ඉන්ධන සහ විදුලිය වෙනුවෙන් නිවැරදි විචල්‍යයන් සහ දර්ශක පාදක කරගනිමින් මිල සූත‍්‍රයක් සැකසීමට පියවර ගන්නවා. එබැවින් ඉදිරියේදී පාරිභෝගිකයාට වඩාත් විනිවිදභාවයෙන් යුත් අය ක‍්‍රමයක් ඉදිරිපත් කළ හැකියි” යැයි පැවසීය.

ප‍්‍රංශ තානාපති කාර්යාලය මගින් සංවිධානය කර තිබූ මෙම අවස්ථාවට ප‍්‍රංශ තානාපතිතුමා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.