රටේ සියලූම පාසල් සිසුන් හෙට උදේ 7.45 ට ජාතික බලශක්ති සංරක්ෂණ ප‍්‍රතිඥාව ලබාදෙයි
10 0

Posted by  in Latest News

ජාතික බලශක්ති සංරක්ෂණ වැඩසටහනේ සමාරම්භය හෙට (11) කොළඹ මහානාම විදුහලේදී.

පාසල් බලශක්ති සංරක්ෂණ විෂය පද්ධතිය සහ බලශක්ති සමාජ පිහිටුවීම විධිමත් කෙරේ.

අනාගතය වෙනුවෙන් තෙල්, විදුලිය ඉතිරිකිරීමේ අරමුණෙන් ජාතික මට්ටමෙන් ක‍්‍රියාත්මක වන “හෙටක් වෙනුවෙන් රටක්” බලශක්ති සංරක්ෂණ වැඩසටහනේ ප‍්‍රමුඛතම අදියරක්, හෙට (11) ආරම්භ කෙරෙන බව,විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. ලක්ෂ 40 කට අධික පාසල් ශිෂ්‍යශිෂ්‍යාවන් මූලික කරගනිමින් මෙම වැඩසටහන සිදුකෙරේ.

ඒ අනුව ජාතික බලශක්ති සංරක්ෂණ පාසල් වැඩසටහන හෙට පෙ.ව. 7.30 ට කොළඹ මහානාම විද්‍යාලය මුලික කරගනිමින් ආරම්භ කෙරේ. ඊට සමගාමීව දිවයිනේ සියලූම පාසල්වල පෙ.ව. 7.45 ට සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂා ත‍්‍රිත්වයෙන්ම බලශක්ති සංරක්ෂණ පාසල් ප‍්‍රතිඥාව ලබාදීමට සැලසුම්කර ඇත. එදිනටම බලශක්ති සංරක්ෂණ වැඩසටහන සහ පාසල් බලශක්ති සමාජ පිහිටුවීමේ ව්‍යාපෘතියට අදාළ චක‍්‍රලේඛය නිකුත් කිරීමත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය ඇතිව සිදුකිරීමට නියමිතයි.

මෙම සමාරම්භක අවස්ථාව විෂයභාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන්, අධ්‍යාපන අමාත්‍යාංශය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදුකෙරේ.