පරිසර දූෂණ ක්‍රියාවලිය වැලැක්වීමට ක්‍රියා නොකළොත්, තවත් වසර 200 කින් පමණ මනුෂ්‍ය වර්ගයා සහමුලන් වඳ‍වෙලා යන්න ඉඩ තියනවා.
16 0

Posted by  in Latest News

“එදා අපිට වාහන තිබුණේ නැහැ.  පයින් ගියේ. අද එහෙම ගැටලු නැහැ. අද වාහන තියෙනවා. ලංකාවේ පවුල් ලක්ෂ 55 ක් තියෙනවා. වාහන ලක්ෂ 60 ක් තියෙනවා. ඉස්සර  රෑ 7 වෙද්දි මිනිස්සු නිදාගන්නවා. ඒත් අද එහෙම නැහැ. බලශක්තිය නිසා මනුෂ්‍ය ජීවිත මහා පෙරළියකට ලක්වෙලා. සැප පහසුවට පත්වෙලා. නමුත් තෙල් සම්පත අවසන් වීමට ආසන්නයි. එතකොට අපේ දරුවන්ට තෙල් නැති ලෝකයකයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපට සැලසුමක් නොතිබුණොත් විශාල ගැටලු  ඇති වෙනවා. තෙල්, ගල් අඟුරු, ගෑස් සම්පත නිසා හයිඩ්‍රොකාබන දහනය සිදුවෙනවා. එමගින් කාබන් පිටවෙනවා. මේවා පෘතුවිය වටේට බැඳෙනවා. එයින් ගෝලීය උණුසුම ඉහළ යනවා. මේ තුළින් නියඟ, මහා වැසි, භූකම්පන වගේම හිම කඳු දියවීම් ආදිය ඇති වෙනවා. හිම කඳු දියවීම මත මුහුද ගොඩගැලීම් ඇතිවීම අනිවාර්යයි. මේ ක්‍රියාවලිය වැලැක්වීමට ක්‍රියා නොකළොත්, තවත් වසර 200 කින් පමණ මනුෂ්‍ය වර්ගයා සහමුලන් වඳ‍වෙලා යන්න ඉඩ තියනවා. ඒ නිසා මේ පරිසර දිනයේදී අපි අධිෂ්ඨාන කරගන්න ඕන ගස් හිටවීම, සතුන් රැකගැනීම පමණක් නොවෙයි, හුදු මනුෂ්‍ය වර්ගයාම රැකගැනීමේ ක්‍රියවලකට අප එළඹිය යුතුයි කියලා” යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතා පැවසීය.ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ,  ආනන්ද විද්‍යාලයේ පැවති පරිසර දින සැමරුම් වැඩසටහනකට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්  දැක්වු අමාත්‍ය රණවක මහතා,

“අද මේ පරිසරය සුරැකීම සංකීර්ණ විෂයක්. අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ ගස් රැකගත්තම, හිටෙව්වම පරිසරය රැකෙනවා කියලයි. නමුත් පරිසරය ආරක්ෂා කිරීම ගස් සිටුවීමට එහා ගිය මානුෂීය දෙයක්. මනුෂ්‍ය වර්ගයා තිරිසනුන්ගෙන් වෙනස් වන්නේ නිර්මාණශීලී හැකියාව නිසයි. අපේ මේ පරිසරයේ ජීව විශේෂ ලක්ෂ 80 ක් පමණ සිටිනවා. මිනිසුන් කියන්නේ ඉන් එක්කෙනෙක් විතරයි. මිනිසා භාෂාවක් වගේම සංකේත නිර්මාණය කරගත්තා. ඒ තුළින් අද මුළු ලෝකයම එකම ජාලයක් බවට පත්වෙලා. එදා ගල්ගුහාවල

 ආරම්භ වුණ මෙම සංඛේත ක්‍රමය,  අද ලෝකය පුරා පැතිරිලා. මේක මනුෂ්‍ය වර්ගයාගේ යෝධ ඉදිරි පිම්මක්. මිනිසා තවත් වැදගත් දෙයක් කළා. කැලැවේ තිබුණ වල් ශාක වලින් තමාට අවශ්‍ය ආහාර, ඖෂධ ඇති කරගත්තා. අපිට ආඩම්බර වෙන්න පුළුවන්, ප්‍රථමයෙන්ම

ධාන්‍ය වගාව ආරම්භ කරපු ජාතිය වශයෙන්.එදා කැලෑ ආහාර සපයා ගත්ත මනුෂ්‍යයා අද ධාන්‍ය, පළතුරු අනුභව කරනවා. මිනිසාගේ තවත් වැදගත් නිර්මාණයක් තමයි ගින්දර. ගින්දර සොයාගත් මිනිසා ඉන් ඔබ්බට ගමන් කරලා, අද වෙනකොට පොසිල ඉන්ධන. ගෑස් ආදිය මගින් අද බලශක්ති ලෝකයක් නිර්මාණය වෙලා. දිනකට අපට කිලෝ කැලරි 2060 ක් අවශ්‍යයි ජීවත්වෙන්න. ඒ වගේ 125 ගුණයක් දිනකට බලශක්තිය පාවිච්චි වෙනවා.

අදින් ඇරඹෙන බලශක්ති සංරක්ෂණ මාසයේ සැම නිවසකම බලශක්තිය සුරකින්න උත්සාහ ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. 20% කින් විදුලිය ඉතිරි කරන්නන්ට, ඔවුන්ගේ විදුලි බිල නොමිලේ පියවන්න අපි ක්‍රියා කරනවා. ඒ වගේම ඉන්ධන පිරිමසාගන්න. එහෙම කරන රියදුරන්ට අපි ත්‍යාග ලබාදීමට කටයුතු කරනවා. ඉන්ධන පිරිමසනවා වගේම අපි වෙනත් බලශක්ති ප්‍රභවයන් වෙත අනුගත වියයුතු කාලයත් දැන් එළඹිලා යැයි පැවසීය.