සහලින් රට ස්වයංපෝෂිත කළා වගේ  බලශක්තියෙන් රට ස්වයංපෝෂිත කරන්නට,  විදුලිබල අමාත්‍යාංශයත් දැන් මේ රටට නව ඉලක්කයක් ලබාදීලා තිබෙනවා.
04 0

Posted by  in Latest News

“රට ධාර්මිකව, යහපාලනයෙන් යුතුව ක්‍රියා කරනවානම්, කලට වැසි ලැබිලා, අස්වනු සරුවෙලා, රට ඉදිරියට ගෙනියන්න හැකිවෙනවා. විදුලිබල අමාත්‍යාංශයත් දැන් නව ඉලක්කයක් මේ රටට ලබාදීලා තිබෙනවා. සහලින් රට ස්වයංපෝෂිත කළා වගේ බලශක්තියෙන් රට ස්වයංපෝෂිත කරන්නට. ඒ කටයුත්ත අපි මේ වසරේ ආරම්භ කරනවා. තෙල් සහ ගෑස් සම්පත මේ රටෙන්ම ලබාගැනීමේ කටයුතු අප ආරම්භ කරනවා. ඒ සඳහා දළදා සමිඳුන්ගේ ආශිර්වාදය, ආධ්‍යාත්මික බලය, ධාතූන් වහන්සේලාගේ බලය, ශක්තිය ආශිර්වාදය ලැබිලා මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට හැකිවේයැයි අපි බලපොරොත්තු වෙනවා. ඒ තුළින් මේ රට බලශක්තියෙන් ස්වයංපෝෂිත වෙලා සුහුරු සුපිරි ජාතියක් බවට පත්වනවා දැකීමයි අපගේ අභිප්‍රාය. මේ යහපාලන පාලනය, ධාර්මික පාලනයක නව ශක්තියක් මගින් පෙරට ගෙනයන්නට මුළු රටටම පෞඩ, ගෞරවණීය ස්ථානයක් බවට දළදා වහන්සේ වැඩවෙසෙන මේ පුණ්‍යභූමිය පත්වේවා යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළකළේ, පසුගියදා දළදා මාළිගා පරිශ්‍රය තුළ බහු කාර්යය ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම බහුකාර්යය ගොඩනැගිල්ල මගින් දළදා පෙරහැරට සහභාගී වන ශිල්පීන්ට සහ දළදා මාලිගාව වැඳපුදා ගැනිමට පැමිණෙන බැතිමතුන්ට සේවා පහසුකම් සැපයීමට හැකිවේවියැයි බලාපොරොත්තු වේ. මේ සඳහා පිරිවැය විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් දරන අතර නිර්මාණ දායකත්වය නාවික හමුදාව මගින් සිදුකෙරේ.

මෙම අවස්ථාව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රණවක මහතා,

“අද අපි සුභ කටයුත්තකට අත ගැසුවා. අපි බලාපොරොත්තු වෙනවා, දළදා මාළිගාවට අත්‍යාවශ්‍ය අංගයක්ව පැවති මෙම බහු කාර්යය ගොඩනැගිල්ල මගින් දළදා පෙරහැරට සහභාගී වන ශිල්පීන්ට සහ දළදා මාලිගාව වැඳපුදා ගැනිමට පැමිණෙන බැතිමතුන්ට සේවා පහසුකම් සැපයීමට හැකිවේවි කියලා. මේ බිම අපට ඉතාම වැදගත් බිමක්. අපි නැවත නැවතත් සිහිකළ යුතුවන්නේ මේ රට, සම්බුද්ධ ශාසනය වසර දෙදහස් තුන්සීයක් අඛණ්ඩව රැකගත් බවයි. එවැනි ශාසනික ඉතිහාසයක් ලෝකයේ වෙනත් කිසිම රටකට, ජාතියකට නැහැ.

අවසාන වශයෙන් අප විදේශිය අධිරාජ්‍යයන් හමුවේ පරාද වූ අවස්ථාවේදී අප පරාජයට පත්වුණේ මේ බිමේදී. ඒ අවස්ථාවෙත් මේ දළදා සමිඳුගේ පිහිටෙන් මේ බිම බේරා ගැනීමට අපේ අතීත දේශමාමක පිරිස් විශාල කැපකිරීම් කළා. මේ බිම ඒ සියල්ලටම සාක්ෂි දරනවා ඇති. මේ බිමට අවශ්‍ය ප්‍රෞඩත්වය, මේ බිමෙන් නැගෙන ජාතියේ උරුමයට, මේ බිමෙන් නැගෙන අධ්‍යාත්මික ගුණසුවඳට සුදුසු වටපිටාවක් මේ ස්ථානය පත්කරගැනීම මේ ජාතියේම විශාල වගකීමක්. අපි නැවතත් ස්තුතිවන්ත වනවා ලංකා විදුලිබල මණ්ඩලයට මේ ස්ථානයේ විදුලි පද්ධති විධිමත් කිරීම සම්බන්ධයෙන්. ලංකා ට්‍රාන්ස්‍පෝර්මර් ආයතනයට ස්තුතිවන්ත වනවා මේ මාළිගාවේ අභ්‍යන්තර විදුලි බද්ධතිය ඉතාම විධිමත් අයුරින් සකස් කරදීම පිළිබඳව. 2012 වසරේ වර්ෂාව නැතිවුණ අවස්ථාවේ, ඒ අර්බුධකාරී තත්ත්වය පියමං කරන්නට මේ දළඳා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව අපට ලැබුණා. අපි මෙම ස්ථානයේ පමණක් නොවෙයි රටේ සෑම ආගමික ස්ථානයන්ගේ විධිමත් භාවය රැකගන්න කටයුතු කරනවා” යැයි පැවසීය. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා, ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා, විදුලිබල මණ්ඩලය, ලෙකෝ, ඛනිජ තෙල් නීතිගත සංස්ථා සභාපතිවරු, සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශ ලේකම්තුමා, ශ්‍රී ලංකා නාවික හමුදාපතිතුමා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.