Posted by in Latest News
වියලි කාලගුණය පහවගොස්, නිසි කලට වර්ෂාව අපේක්ෂාවෙන් ලංකා විදුලිබල මණ්ඩලය වාර්ෂිකව සිදුකරන පැන් පූජා මහෝත්සවය පසුගියදා පවත්වන ලදී.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පැන්පූජා මහෝත්සවය ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස දී පැවැත්විණි. ජල විදුලි බලාගාර ආශ්රිත ජලාශයන්ගෙන් රැගෙන ආ පැන්කල 12 ක් රුවන්වැලි සෑ රදුන් වටා පැදකුණු කිරීමෙන් අනතුරුව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට පිළිගන්වනු ලැබීය. මෙම පැන් පූජාව මධ්‍යයේ මහා වැසි ඇදහැලීම, මෙහිදී සිදුවූ සුවිශේෂත්වයකි.
ජය ශ්‍රී මහා බෝ මළුවේ නෙළුම් මල් අතුරා, එම පරිශ්‍රයේ සිට රුවන්වැලි සෑය දක්වා මගදෙපස පහන් දල්වනු ලැබීය. අළුයම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස, සතර වාහල්කඩ කිරි ඉතිරවීම සිදුකළ අතර දහවල් මහා සංඝරත්නය විෂයෙහි දානමය පින්කමක්ද පැවැත්විණි.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිසුමන මහනායක ස්වාමීන් වහන්සේ සහ රුවන්වැලි සෑ අධිපති පල්ලේගම හේමරතන නායක හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පැවති මෙම පැන් පූජා මහෝත්සවයේ ප්‍රධාන අරමුණ වන්නේ, ජල විදුලි බලාගාර ආශ්රිත ප්‍රදේශ සඳහා වැසි අපේක්ෂා කිරීමයි.
මෙම අවස්ථාවට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල, උපසභාපති නිහාල් වික්‍රමසූරිය, සාමාන්‍යාධිකාරි එම්.සී. වික්‍රමසේකර, ක්‍රියාකාරී අධ්යක්ෂ එම්.කේ.ජී. ගුණතිලක, උතුරුමැද පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පියසිරි ගුණසිංහ යන මහත්වරුන් ඇතුළු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේත් ලංකා විදුලිබල මණ්ඩලයේත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.