විදුලිය, ඛනිජ තෙල් ඇතුළු බලශක්ති  ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කටයුතු කිරීමට උපායමාර්ගික ආයතනයක් ආරම්භ කරනවා .
17 0

Posted by  in Latest News

ඛනිජතෙල්, විදුලිය වැනි ආයතන පුද්ගලීකරණය නොකර, රාජ්‍ය අංශයේම පවත්වාගෙන යාමට හැකිවීම පිළිබඳව ආඩම්බර වෙනවා. එසේම මෙම ක්ෂේත්‍රයන්හි පවතින අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබැලීමටත්, අනාගත අභියෝග ජයගැනීම සදහාත්, මෙම ආයතන සියල්ල ඒකාබද්ධව පාලනය කළහැකි නව කළමනාකරණ විධික්‍රමයක් හඳුන්වාදිය යුතුයි. ඒ අනුව බලශක්ති ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කටයුතු කිරීමට, ව්‍යවස්ථාපිත බලතල සහිත උපායමාර්ගික ආයතනයක් ස්ථාපිත කිරීමට අදහස් කරනවා” යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළකළේ  නව වසර වෙනුවෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ සේවක මණ්ඩල ඇමතීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති මෙම අවස්ථාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ, ශ්‍රී ලංකාවේ බලශක්ති උන්නතිය වෙනුවෙන් ලංකාව තුළින්ම තෙල් සහ ගෑස් සම්පත උකහා ගතයුතු බවයි. මෙය ඉතා අනතුරුදායක ක්‍රියාවක් බවත්, එම අනතුරුදායකත්වයට සාර්ථකව මුහුණදුන් ඉන්දුනීසියාව, ඇමරිකාව හා රුසියාව වැනි රටවල් එතුළින් මේ වනවිට සාර්ථක ප්‍රතිඵල ලඟාකරගෙන ඇති බවත් අමාත්‍ය රණවක මහතා පැවසීය. බලශක්ති ක්ෂේත්‍රයේ මෙන්ම සමස්ත රටේම අනාගතය පවතින්නේ, තෙල් සහ ගෑස් සම්පත මේ  භූමියෙන්ම උකහාගැනීම මත බව පැවසූ අමාත්‍ය රණවක  මහතා, විදුලිබල අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් සංස්ථාව යන  ආයතන දෙක සහ ඊට  අනුබද්ධව පවතින ආයතනයන්හි සේවක පිරිස් වලටත්, උදාවූ නව වසරේ බලශක්ති ක්ෂේත්‍රයේ පෙරලියක් ඇතිකිරීමට අවැසි ශක්තිය, ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනය කළේය.

මෙම අවස්ථාවට, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ මෙම ආයතන දෙකට අනුබද්ධ ආයතනයන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරන් ඇතුළු සේවක පිරිස් සහභාගී වුහ.