බලශක්තියෙන් සපිරි, සුහුරු, සුමට සුපිරි බලයක් බවට  අපේ මව්බිම පත් කරමු.
08 0

Posted by  in Latest News

” බලශක්තියෙන්  සපිරි රටක්, බලශක්තියෙන් ස්වයංපෝෂිත රටක්  අපේ අභියෝගයයි. මීළඟ අභියෝගය නම්  ඉන්ධන, ගල් අඟුරු මත යැපෙන්නේ නැතිව තිරසර බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවීමයි. ඒකට අවශ්‍ය  සැලසුම් අපි සකස් කරලා තියෙන්නේ. මේක විශාල  අභියෝගයක්. ඉදිරියේදී මේ අභියෝගයට අපි මුහුණ දිය යුතුයි. රටේ දේශීය හරිත බලශක්තිය ඉදිරියට ගෙනියන්න අපි රට සූදානම් කළ යුතුයි. මෙහි මුල් පියවර අද මේ කෝට්ටේ ඓතිහාසික නගරයෙන් ආරම්භ කරන්න අපට හැකිවුණා. රටේ අනාගතයට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම වෙනුවෙන් අරඹන මේ කටයුතු සාර්ථකවී, මේ නව තාක්ෂණික දියුණුවෙන් අපේ මව්බිම සුහුරු සුමට, සුපිරි බලයක් සහිත රටක් බවට  පත්කරමු “යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතා පැවසිය.

ඒ මහතා මෙම අදහස් පළක‍ළේ,  බලශක්ති සුරැකීම හා කාර්යක්ෂම පරිහරණය ප්‍රචලිත කරනු වස්, ශ්‍රී ජයවර්ධනපුර නගරයේ තෝරාගත් භූමි ප්‍රදේශයක්, හරිත කලාපයක් බවට ස්ථාපිත කිරිමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවති මෙම අවස්ථාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“විදුලිය පිරිමැසීම සඳහා “හෙට වෙනුවෙන් අද” වැඩසටහන යළි ක්‍රියාත්මක කරනවා. අපට 5% ක්  විදුලිය ඉතිරි කරන්න පුළුවන්නම් අධික වියදම් සහිත තාප බලාගාර පාලනය කරන්න අපට හැකිවෙනවා. එමගින් ඇතිවන විශාල වියදම් ඉතිරිය හිමිවන්නේ, අපේ පාරිභෝගිකයාට සහ ආර්ථිකයටයි. මුදල් අමාත්‍යාංශය ,දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව හැරුණම වැඩියෙන්ම ආණ්ඩුවට බදුගෙවන ආයතනය අපේ අමත්‍යාංශයයි. අපේ ආයතනය පාඩු නැහැ.  රජයට විශාල වශයෙන්  බදු ගෙවන නිසයි පාඩු ලබන්න සිද්දවෙලා තියෙන්නේ. තවදුරටත් ලංවිමටත්, ඛනිජ තෙල් සංස්ථාවටත් නිකරුනේ බැනුම් නොඅසන ආකාරයේ විදුලි, ඉන්ධන අය ක්‍රමය පිළිබඳ මිල සූත්‍රයක් සකසන්න අදහස් කරනවා. එසේම ගුණාත්මක සේවයක් ඇති කරන්නත් අපි බලාපොරොත්තු වෙන අතරම පාරිභෝගිකයා බලාත්මක කරන්න බලාපෙරොත්තු වෙනවා. විදුලිබිල්. ඉන්ධන බිල් පිළිබඳව ජංගම දුරකතනයෙන්, පරිගණකයෙන් දැනගන්න පුළුවන්වන ආකාරයේ සුහුරු ක්‍රමයක් ඇතිකරනවා.

අපේ මහපරිමාණ ඉලක්කය නම් 2025 වනවිට රට බලශක්තියෙන් ස්වංපෝෂිත කරන්නයි.  මෙහිදී හරිත බලශක්තිය මෙන්ම  මුහුදු තීරයේ තිබෙන ගෑස් සහ තෙල් සම්පත යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවේ තෙල් සහ ගෑස් සම්පතින් අප උපරිම ප්‍රයෝජන ගතයුතුයි. මේ සම්පත පුද්ගලයෙකුට, පවුලකට, සමාගමකට,  ජාවාරම්කරුවෙකුට මංකාල්ල කන්න නොදි, ජාතියේ සම්පතක් බවට සංවර්ධනය කළ යුතුයි. මෙය ඉතාම අපහසු අභියෝගයක් “යැයි පැවසීය.

මෙම අවස්ථාවට ප්‍රතිපත්ති  සම්පාදන හා ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා, ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපති බන්දුල චන්ද්‍රෙස්කර මහතා ඇතුළු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, ලංකා විදුලි පුද්ගලික සමාගම යන ආයතනයන්හි ජ්‍යේෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.