බලශක්තියෙන් සපිරි රටක් 10 වසරක සැලසුම එළිදකී
31 0

Posted by  in News

“බලශක්තියෙන් සපිරි රටක්” බලශක්ති ක්ෂේත්‍රයේ 10 වසරක සංවර්ධන සැලැස්ම විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ආරාධනයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි.

“බලශක්තියෙන් සපිරි රටක්”යන්න තේමා කරගනිමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන සහ රේඛීය අමාත්‍යාංශ, ඊට අනුබද්ධ ආයතන සහ පෞද්ගලික අංශයද දායක කරගනිමින්, 2025 දක්වා බලපැවැත්වෙන ප්‍රායෝගික වැඩ සැලැස්මක් සකස් කර ඇත. එමගින් බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රධාන අංශ 08 ක් කෙරෙහි සෘජු අවධානය යොමුකර ඇතැයි අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා,

බලශක්ති සැලසුමේ පදනම වන්නේ බලශක්ති සුරක්ෂිතතාවයයි. මෙය අපේ රටට ඉතා වැදගත් වන්නේ රාජ්‍යයේ ස්ථාවරත්වය පිළිබඳ, බලශක්ති ස්ථාවරත්වය පිළිබඳව, අපේ දියුණුවේ පදනම බවට බලශක්ති සුරක්ෂිතතාවය පත්ව ඇති නිසයි. බලශක්ති සුරක්ෂිතතාවය නැති රටක් සුරක්ෂිත රටක් නෙමෙයි. ස්ථාවර රටක් නෙමෙයි. එහෙම රටකට ස්ථාවර තිරසර දියුණූවක් ලබාගන්න බැහැ. ඒ නිසා අපි සැම විටම උත්සාහ ගතයුත්තේ බලශක්ති සුරක්ෂිතතාවය ඇති කරගැනීම සඳහා යැයි පැවසීය.වැඩි දුරටත් අදහස් දක්වමින්, බලශක්ති ක්ෂේත්‍රයේ ඉදිරි සැලසුම් විග්‍රහකල අමාත්‍ය රණවක මහතා,

ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා හරිත බලශක්ති වැඩිදියුණූ කරන්න. දැන් සියයට පනහක් පමණ හරිත බලයෙන් විදුලිය ලැඛෙනවා. විශේෂයෙන් සුළං සූර්ය වැනි පුනර්ජනනීය ප්‍රභවයන් වලින් ලැඛෙන විදුලිය 2020 දී සියයට විස්සකින් වැඩි කරනවා. ඒ වගේම අපි ඒ අතරේ බලාපොරොත්තු වෙනවා සියළු දෙනාටම මේ වසර අවසන් වනවිට විදුලිය ලබාදෙන්න. බලශක්ති නාස්තිය අඩුකරන්නත්, බලශක්ති සංරක්ෂණය වැඩි කරන්නත් බලාපොරොත්තු වෙනවා. ප්‍රවාහන ක්ෂේත්‍රය ඉන්ධන මත යැපීම අඩු කරගැනීමටත්, මේ සිංහල අවුරුද්දට ප්‍රථම විදුලි මෝටර් රථ සඳහාවන පළමු චාර්ජින් සෙන්ටර් එක ඇති කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. එසේම විදුලිබල මණ්ඩලයේත්, ඛනිජතෙල් සංස්ථාවේත් ණය බර අවම කරගැනීමට බලශක්ති බැදුම්කර නිකුත් කිරීමටත් සැලසුම් කර තිඛෙනවා යැයි පැවසීය.

මෙම අවස්ථාව ඇමතු ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, රටක දැනුම පදනම් කරගත් සමාජයක් බිහිකිරීමට නම් ඒ රට බලශක්තියෙන් ස්වයංපෝෂිත වියයුතු බවත්, එසේ ස්වයංපෝෂිත නොවූවහොත් කිසිදු සංවර්ධන ක්‍රියාවලියක් ඉටුකළ නොහැකි බවත්, එදා මහවැලියෙන් විවෘත ආර්ථීකය දුන්වාදිම ආරම්භ කළාසේම, දැනුම පදනම් කරගත් සමාජයකට යාමට නම්, බලශක්තිය අත්‍යාවශ්‍ය බවත් පැවසීය. මේ බව වටහාගත් විදුලිබල අමාත්‍ය රණවක මහතා, මෙසේ සැලසුම් සකස් කිරීම පිළීබඳව රටක් වශයෙන් එතුමාට ස්තුතිවන්ත වියයුතු බවත්, අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය රවි කරුණානායක, ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, නාගරික සංවර්ධන ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍ය රවුෆ් හකීම්. වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කේ. වෙල්ලායුදන් යන අමාත්‍යවරුන්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශය, ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය. යන අමාත්‍යාංශයන්හි ලේකම්වරුන්, පළාත්සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ මහතා ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පුද්ගලික සමාගම ඛනිජතෙල් නීතිගත සංස්ථාව, සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතනයන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.