ඉවතලන කැලිකසල යොදාගෙන විදුලිය නිපදවීමේ ව්‍යාපෘති වලට යොමුවීම මගින් බලශක්ති ක්ෂේත්‍රයට වගේම සාමාන්‍ය ජනජීවිතයටත් සහනයක් ලැබේවි
20 0

Posted by  in Latest News

“මේ වනවිට ලංකාව මුහුණ දෙන විශාල ගැටළුවක් තමයි මේ කුණුකසල. මෙම කුණුකසල යොදාගනිමින් විදුලිය නිපදවිය හැකි ක්‍රම පිළිබදව මේ වනවිට අවධානය යොමුවෙලා තිබෙනවා. වැඩිදුරටත් මේ පිළිබදව අධ්‍යයනයන් සිදුකර, කසල යොදාගනිමින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘති කෙරෙහි ආයෝජකයන් උනන්දු කළ යුතුයි. ඒ තුළින් විදුලි ක්ෂේත්‍රයට වගේම රටේ සාමාන්‍ය ජන ජීවිතයටද මහත් සහනයක් ලබාදිය හැකියි”යැයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ, පසුගියදා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගීවීමෙන් අනතුරුව පැවති නිලධාරී හමුව අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය, රංගේ බණ්ඩාර මහතා,

“දිනෙන් දින ඉහළ යන විදුලි ඉල්ලුම සපුරාලීම වෙනුවෙන් අපට යොදාගත හැකි ජලවිදුලි සම්පත මේ වනවිට උපරිමයෙන් යොදාගෙන තිබෙනවා. පාරම්පරික ක්‍රමවලම රැදීසිටීමෙන් අපට ගොඩ එන්නඅමාරුයි. ඒ නිසා, බලශක්ති උත්පාදනය වෙනුවෙන් මිල අවම විකල්ප බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවීමේ කාලය දැන් ඇවිදින්. සාම්ප්‍රදායික බලශක්ති උත්පාදන මාර්ගයන් වෙතින් මිදී, මිල අවම විකල්ප බලශක්ති උත්පාදන මාර්ගයන්  වෙත යොමුවීමෙන්, විදුලි උත්පාදනය වෙනුවෙන් ඉන්ධන සහ ගල් අඟුරු වෙනුවෙන් වැයවන මහා ධන ස්කන්ධයක් ඉතිරි කරගන්න පුළුවන්.

විකල්ප බලශක්ති උත්පාදන ව්‍යාපෘතීන් වෙනුවෙන් මේ වනවිට බලපත්‍ර නිකුත් කර ඇති ආයතන සහ පුද්ගලයින්, එම ව්‍යාපෘති ආරම්භ කර තිබේදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. මේ

වසරේ මාර්තු අවසන්වීමට ප්‍රථම සිය විකල්ප බලශක්ති ව්‍යාපෘති ආරම්භ නොකරන බලපත්‍රලාභීන් සොයාබලා, ඔවුන්ගේ බලපත්‍ර අහෝසි කිරීමටත්, ඒ සදහා නව ව්‍යාපෘති ආරම්භ කිරීමට ඉල්ලුම් කර ඇති එහෙත් තවමත් බලපත්‍ර ලබානොදුන් ආයෝජකයින් හදුනාගෙන, ඔවුන්ට බලපත්‍ර නිකුත් කළ යුතුයි. ඒ තුළින් අපේ විදුලිබල පද්ධතියට හැකිතාක් දුරට විකල්ප බලශක්තියේ දායකත්වය ලබාගත යුතුයි” යැයි පැවසීය.

එසේම බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණූ කිරීම, සුපිරිසිදු බලශක්ති ක්‍රමවේදයක් අනුගමනය කිරීම, ප්‍රවාහන ක්ෂේත්‍රය වෙත යොමුවෙමින්, ඉන්ධන වෙනුවට විදුලිබලය යොදාගැනීම මෙන්ම බලශක්ති සංරක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කිරීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් රට බලශක්තියෙන් සුරක්ෂිත කිරීමට, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යතුමා සමඟ එක්ව,  විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් තමා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍ය රංගේ බණ්ඩාර මහතා වැදුඩිදුරටත් පැවසිය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ මෙන්ම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වුහ.