නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණය සහ වංචනිකයෝ එකට බැඳිලා ක්‍රියාකරපු නිසයි, ලෙකෝ ආයතනයේ සිදුවූ වංචා දූෂණ නවත්තන්න අපහසු වුණේ …..
11 0

Posted by  in Latest News

යම් රටක, ආයතනයක හෝ යම් ස්ථානයක නීතිය ක්‍රියාත්මක කරන්නන් සහ දූෂිතයන් එකට එක්ව කටයුතු කරනතාක්කල්, අදාළ දූෂණය නැවැත්වීම ඉතාමත් අසීරු කරුණක් බව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ, ලංකා විදුලි පුද්ගලික සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට සහ සේවක හමුවකට සහභාගී වෙමිනි.

පසුගිය සමයේ ලෙකෝ ආයතනය තුළ සිදුවූ මූල්‍ය වංචා සහ දූෂණ රාශියක් පිළිබඳව තමා සියලු තතු දන්නා බවත්, ඒ සම්බන්ධයෙන් වගකිවයුතු ප්‍රධාන පෙළේ පුද්ගලයින් විදේශගතව සිටින බවත්, නීතිය සහ දූෂිතයන් එකට එක්ව,  නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ තත්ත්වයකට පත්කළ බැවින්, අදාළ පුද්ගලයින් තවමත් නිදැල්ලේ පසුවීම ඉතාම ශෝචනීය බව පැවසු රණවක මහතා, ඉදිරියේදී ඒ සියලුම චූදිතයන් නීතිය ඉදිරියට පමුණුවා නිසි දඩුවම් ලබාදීමට තමා අපේක්ෂා කරන බවත් පැවසීය.

පසුගිය සමයේ ලෙකෝ ආයතනයේ සිදුවු ඇතැම් සිදුවීම්, මහින්ද රාජපක්ෂ මහත්තයාගේ බලය අහිමි කරන්න ප්‍රධාන වශයෙන් බලපෑවා. හොල්ලන්න බැහැ කියපු, ප්‍රභාකරන් වගේ අපරාජිතයි කියලා කියපු රාජපක්ෂ බලමූලය නෙරපන්න, ජනතාව වෙනුවෙන්, විදුලි පාරිභෝගිකයන්ගේ මුදල් වෙනුවෙන් නැගී සිටින්නට අපිව පෙළඹෙව්වේ ඒ ලෙකෝ වංචාවන් තමයි. ඒ පටන් ගත්ත අරගලය අපි ඉදිරියට ගෙනියනවා. සුදු ඇඳගෙන, දේශප්‍රේමීත්වය, පවිත්‍රත්වය ගැන කතා කරකර, මේ ආයතන කාපු වගකිවයුත්තන්ට අනිවාර්යයෙන්ම දඩුවම් දෙනවා.

විදුලි ක්ෂේත්‍ර යේ අද අපි ඉදිරියෙන් සිටිනවා. කලාපයේ රටවල් අතරින් පැය 24 ම විදුලිය දෙන එකම රට ශ්‍රී ලංකාව. ඒ වගේම අපි මේ වනවිට ශ්‍රී ලංකාවේ ජීවත්වන ජනතාවගෙන් 96% කට විදුලිය දීලා තියෙනවා. 2018 වෙද්දි මුළු දිවයිනම විදුලියෙන් ඒකාලෝක කරන්න තීරණය කළත්, මේ වෙද්දි ඒ කටයුත්ත 96% ක් සාර්ථක කරන්න හැකිවෙලා තියෙනවා. මේ සෑම කාර්යයකදීම ලංකා විදුලිබල මණ්ඩලයට සමාන තත්ත්වයකින් ලංකා විදුලි පුද්ගලික සමාගමේ දායකත්වයත් අපට ලැබිලා තියෙනවා. ඉදිරියේදී ලංකා විදුලිබල මණ්ඩලයත්, විදුලි පුද්ගලික සමාගමත් අතර අභ්‍යන්තර තරගයන් පවත්වලා, ඒ මගින් විදුලි පාරිභෝගිකයන්ට ඉහළ මට්ටමේ ගුණාත්මක සේවාවක් සපයන්න අපි බලාපොරොත්තු වෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයත් ඛනිජ තෙල් සංස්ථාවත් අකාර්යක්ෂමතාව මත පාඩු ලබන ආයතන බවට පසුගිය රජයන් ජනතාවට පෙන්වා දුන්නා. නමුත් ඇත්ත ඒක නෙමෙයි. එම ආයතන මත අනවශ්‍ය බදු පටවලා, ඒ තුළින් තමයි ආයතන ණයකාරයින් බවට පත්කළේ. ඒ ආයතන වලින් ලබන අරමුදල් වෙනත් ක්ෂේත්‍රවල අයථා ආයෝජනයන්ට ලබාදෙන්නයි එහෙම කළේ.

එදා උතුරේ  වියදම් අධික විදුලිබලාගාරයක් ඉවත් කරන්න හැදුවම, මගේ ඇතිකම පවා නැතිවෙන තැනට වැඩ සිද්ධ වුණා. ඒ බලාගාරයේ විදුලිය ඒකකයක් රු. 30.00යි.  නවත්වන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් විදුලි ඒකකයක් රු. 19.00 ට ලබාදෙන විදුලි බලාගාරය වැහිලා. මේවා තමයි විදුලි මාෆියාවේ දක්ෂතා. ඒ වගේම මේ වෙද්දි මන්නාරම් ද්‍රෝණියේ ගෑස් නිධි වලින් ප්‍රකෝටි ගණනක මුදල් රජයට අහිමි වෙලා තියෙනවා. මේ තත්ත්වය වෙනස් කරලා, ඒ සම්පත යොදාගනිමින්, ශ්‍රී ලංකාව නෝර්වේ වගේ සුපිරි තත්ත්වයට ගේනවාද, එහෙමත් නැත්නම් නයිජීරියාව වගේ විනාශ මුඛයට ගෙනියනවද කියලා අපි දැන් තීරණය කළ යුතුයි.

එදා ලෙකෝ සමාගම උතුරේ විදුලි මාෆියාවට එරෙහිව කටයුතු කරලා, ඒ මාෆියාව නවත්තන්න උදව් වුණා. ඒක වඩාත් සුවිශේෂී අවස්ථාවක් වන්නේ, පාඩු ලබමින්, දූෂිත මට්ටමේ තිබුණ ලෙකෝ ආයතනය, විදුලි මාෆියාව නැවැත්වීමට ආයෝජනය කිරීමත්, එම ආයතනය ලාභ ලබන තත්ත්වයට පරිවර්ථනය වීමත් නිසයි. ඉදිරියේදීත් මෙම ආයතනයෙන් එවැනි ආයෝජනයන් සිදුවෙතැයි  බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රය හා සම්බන්ධ වෙලා, විදුලි මෝටර්රථ සඳහා අවශ්‍ය  ශක්තිය, ඩිජිටල් මීටර් සහ  ඒ සඳහා සුදුසු ස්ථාන සකස් කිරීමට ලෙකෝ පාලනාධිකාරිය කටයුතු කරනු ඇතැයි මා බලාපොරොත්තු වනවා යැයි පැවසීය.

මෙම අවස්ථාවට, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ, අතිරේක ලේකම් උපාලි දරණගම, ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපති බන්දුල චන්ද්‍රසේකර යන මහත්වරුන් ඇතුළු ලෙකෝ ආයතනයේ නව පාලනාධිකරියත්, සේවක සේවිකාවනුත් සහභාගී වූහ.