වෘත්තිය කුමක් වුවත්, සෑම මනුෂ්‍යයෙකු තුළම නිර්මාණශීලීත්වයක්,කලාත්මක බවක් මෙන්ම දේශපාලනික ඥානයක් තිබිය යුතුයි
10 0

Posted by  in Latest News

මනුෂ්‍යයා කුමන රැකියාවක නිරත වුවත්, සිය වෘත්තිය නිපුනත්වයට අමතරව නිර්මාණශීලීත්වයක් මෙන්ම කලාත්මකබවක් ඇතිකර ගතයුතු බව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ IESL ඉංජිනේරු විද්‍යාලය මගින් සංවිධානය කළ පූර්ණකාලීන ඉංජිනේරු විද්‍යා පාඨමාලාවේ සමාරම්භක අවස්ථාවකට සහභාගී වෙමිනි.

රටක සංවර්ධනය වෙනුවෙන් භෞතික සම්පත් මෙන්ම මානව සම්පතද සංවර්ධනය වියයුතු බවත්, රටක් පරිපූර්ණ සංවර්ධන මාවතකට යොමුවීමට මෙන්ම රට ජාත්‍යන්තර වශයෙන් ඉදිරියටයාම වෙනුවෙන් නව තාක්ෂණික ඥාණය අවශ්‍ය වන්නාසේම, මානව සම්පත නිර්මාණශීලී මෙන්ම කලාත්මක බවකින්ද යුක්තවීම අනිවාර්යය බව අමාත්‍යවරයා, අතීතයේදී ඉහළ පැලැන්තියට, කොළඹ ජීවත්වන්නන්ට පමණක්සීමාවී තිබූ දේශපාලන වේදිකාව, අද සමස්ත ජනතාවටම විවරවී ඇති බැවින්, වෘත්තීය දැනුමැති මෙවැනි ඉංජිනේරුවරුන්ද දේශපාලන භූමිකාවට අවතීර්ණ වියයුතු බවද මෙහිදී අවධාරණය කළේය.

වැඩිදුරටත් සිය අදහස් දැක්වූ අමාත්‍ය රණවක මහතා,

“ඇත්තවශයෙන්ම මම සතුටු වෙනවා, ඉංජිනේරු විද්‍යාලය මගින් මේ ආකාරයේ කාලෝචිත පාඨමාලාවන් සංවිධානය කිරීම පිළිබඳව. රටේ අනාගතය වන දරුවන්, හෙටට ඔබින ආකාරයේ තාක්ෂණික ඥාණයෙන් යුක්ත පිරිසක්වීම, රටේ මෙන්ම  අප සැමගේම භාග්‍යයක්. තරුණ ඉංජිනේරු ජවයෙන් ශ්‍රී ලංකාවේ හෙට දවස දීප්තිමත්වනු දැකීම, රජයක් වශයෙන් අපගේ අභිලාශයයි.

මේ අප නව යුගයක් වෙනුවෙන් සමාජයීය පරිවර්ථනයකට පත්වෙමින් සිටින යුගයක්. රජය විසින් යහපාලනයක් උදෙසා නව ප්‍රතිපත්ති, තීන්දු තීරණ ගන්නා කාලසීමාවක්. ඒ වගේම මෙම කාලසීමාව තරුණ මහලු සැමදෙනාටම, සිය අනාගත ජීවිතය වෙනුවෙන් බොහෝ වරප්‍රසාද හිමිවන කාලයක්.  ශ්‍රී ලංකාව මේ වනවිට මධ්‍යම ආර්ථික රාමුවක සිට ඉහළ ආර්ථික රාමුවක් කරා යොමුවෙමින් සිටින බව අප වටහාගතයුතු කරුණක්. මෙවැනි ආර්ථික  ව්‍යුහයක් හමුවේ තරුණ ඉංජිනේරුවන්ට ඇති ඉල්ලුම වඩාත් ඉහළ බව අප වටහාගත යුතුයි. ඒ අනුව මෙවැනි වෘත්තියකට යොමුවීම තුළින් රටේ සංවර්ධනයේ කොටස්කරුවන් වනවාසේම, පුද්ගලික වශයෙන් තමතමන්ගේ ආර්ථික මෙන්ම සමාජ මට්ටම සංවර්ධනය කරගැනීමටද අවස්ථාවක් උදාකර ගන්නවා.

ඒ අනුව රටට ඔබින සංවර්ධනාත්මක න්‍යාය පත්‍රයක් වෙනුවෙන් සහ සංවර්ධනාත්මක ආර්ථික රාමුවක් වෙනුවෙන් ඉංජිනේරු වෘත්තිය නවීකරණය වියයුතුයි. ඒ සඳහා මෙවැනි පාඨමාලා සංවිධානය කිරීම ඉතාමත්  කාලෝචිතයි” යැයි පැවසීය.

මෙම අවස්ථාවට IESL ඉංජිනේරු පාසලේ සභාපති  එස්.බී. විජේකෝන් මහතා ඇතුළු IESL ඉංජිනේරු පාසලේ සාමාජික සාමාජිකාවෝද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද සහභාගී වූහ.