රාජ්‍ය  ලේකම්  සහ ඛණිජ තෙල් සභාපති  සුභ මොහොතින් වැඩ අරඹයි
21 0

Posted by  in Latest News

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් ලෙස එච්.එම්.බී.සී. හේරත් මහතා පසුගියදා අතිගරු ජනාධිපතිතුමා ඉදිරියේ දිව්රුම් දුන්නේය. කම්කරු අමාත්‍යාංශයේ සහ ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වශයෙන් සේවය කළ ඒ මහතා, ධීවර අමාත්‍යාංශයේ සහ ජාතික ශ්‍රම අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයායි. ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයේ උද්භිත විද්‍යා උපාධිධාරියෙකුවන හේරත් මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධරයෙකි. ජාතික ප්‍රතිපත්ති සම්පාදනය පිළිබඳව ඇමරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ පුහුණුව සහ තිරසර සංවර්ධනය පිළිබඳව ඕස්ටේ්‍රලියාවේ ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ පුහුණුව හිමි හේරත් මහතා, රාජ්‍ය සේවයේ වසර 31 ක අත්දැකීම් හිමි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

මොහොතින් සිය පළමු අමාත්‍යාංශ ලේකම් ධූරයේ වැඩ බාරගත් එච්.එම්.බී.සී හේරත් මහතා සිය නිලධාරීන්ට අවධාරණය කරසිටියේ, සාමුහිකව රටේ සංවර්ධනය වෙනුවෙන් සිදුකළ හැකි අවංක සේවයකට සූදානම් වන ලෙසයි. ප්‍රතිපත්තිගරුක අමාත්‍යවරයෙකු තමන්ගේ විෂයභාර අමාත්‍යවරයා බවට පත්වීම පිළිබඳ තමන් සතුටට පත්වන බවද ප්‍රකාශ කර සිටියේය.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ නව සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් එම ආයතනයේ වසර 33ක සේවා පළපුරුද්දක් සහිත ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙකු වන රංජිත් වික්‍රමසිංහ මහතා, අමාත්‍ය චම්පික රණවක මහතා විසින් පත්කරනු ලැබීය. අද උදෑසන 8 .20 ට යෙදුන සුභ මොහොතින් සිය ධූරයේ වැඩ ආරම්භ කළ නව සභාපතිතුමා තම සහෝදර නිලධාරීන්ට පෙන්වා දුන්නේ, තම ආයතනය රටේ සංවර්ධනයට කෙතරම් බලගතු දායකත්වයක් ලබාදෙන්නේද යනබවයි. එහෙත් මහජනයා තුළ නිලධාරින් පිළිබඳව පවතින අවබෝධය එතරම් යහපත් නොවන බවත්, එය දුරුකර ගතයුත්තේ අප විසින්ම බවත් පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයාගේ ප්‍රතිපත්ති රාජ්‍ය සැලසුම් උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමට තම ආයතනයට තමන්ගේ නායකත්වය නොපිරිහෙලා ලබාදෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවරයෙක් ලෙස උපාධිය හිමිකරගත් වික්‍රමසිංහ මහතා, 1979 ඛනිජතෙල් පිරිපහදුවේ ආධුනික ඉංජිනේරුවරයෙක් වශයෙන් සම්බන්ධ විය. ව්‍යාපෘති ඉංජිනේරුවරයෙක්, ව්‍යාපෘති කළමනාකරුවෙක් සහ ජ්‍යෙෂ්ඨ නිර්මාණ ඉංජිනේරුවරයෙක් වශයෙන් 1994 වර්ෂයේ කොටි ත්‍රස්තවාදීන් විනාශකළ තෙල් ටැංකි නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ ව්‍යාපෘතියටද දායක වී ඇත.

2000 වසරේ සිට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සැලසුම් හා සංවර්ධන තනතුර හෙබවූ හෙතෙම, කටුනායක ගුවන් තොටුපලේ සහ මත්තල ගුවන් තොටුපලේ ව්‍යාපෘති භාරවද සිය සේවය සිදුකර ඇත.