අමාත්‍යාංශ ලේකම් හා ලංවිම පාලනාධිකාරිය සිය ධූරයන්හි නිල කටයුතු ආරම්භ කරයි
20 0

Posted by  in Latest News

· ලංවිම සභාපති ලෙස අනුර විජේපාල පත්කෙරේ . උප සභාපති නිහාල් වික්‍රමසූරිය.

ඊයේ දිනයේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිඳුන් ඉදිරියේ අමාත්‍යාංශ ලේකම්වරයෙකු වශයෙන් දිව්රුම්දුන්, ආචාර්ය සුරේන් බටගොඩ මහතා  සුභමොහොතින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ධූරයේ නිල වශයෙන් රාජකාරි අරඹන ලදී. මෙම අවස්ථාවට විෂයභාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතාද එක්විය.

සිය නිලයේ වැඩකටයුතු ආරම්භ කරමින් සහෝදර නිලධාරින් ඇමතූ ආචාර්ය සුරේන් බටගොඩ මහතා අවධාරණයකර සිටියේ, විෂය පිළිබඳව පුළුල් දැනුමක් සහිත අමාත්‍යවරයෙකු යටතේ සිය රාජකාරි සේවයේ පළමු අමාත්‍යාංශ ලේකම් ධුරය දැරීමට අවස්ථාව හිමිවීම ඉතාමත් භාග්‍යක් බවයි. රටේ සංවර්ධනය වෙනුවෙන් බලශක්ති ක්ෂේත්‍රයේ වටිනාකම තමන් හොඳින් හඳුනන බවත්, මීට පෙර භාණ්ඩාගාරයේදී සේවය කරන සමයේ බලශක්ති ක්ෂේත්‍රයට අදාළ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් තමන්ට ඉතා හොඳ අවබෝධයක් ඇති බවත්, ආචාර්ය බටගොඩ මහතා සඳහන් කළේය. එහෙයින් සමස්ත විදුලිබල ක්ෂේත්‍රයේ වංචා දූෂණ පිටුදකිමින්, නිවැරදි රාජ්‍ය මෙහෙවරක් සඳහා අමාත්‍යවරුන් දෙපළත්, ආයාතනවල නිලධාරීන් සමඟත් ඉතා සුහදව කටයුතු කිරීමට තමන් සූදානම් බවද අවධාරණය කර සිටියේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති වශයෙන් අනුර විජේපාල මහතා පත්විය. මීට පෙර 2010–2012 වර්ෂයේ ලංවිම උපසභාපතිවරයා වශයෙන් කටයුතු කළ ඒ මහතා, මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. විදුලිබල ක්ෂේත්‍රයට අදාළ දේශීය හා විදේශීය පෞද්ගලික අත්දැකීම් රැසක් හිමි ඒ මහතා, ශ්‍රී ලංකා නර්ඩ් ආයතනයේද සභාපති වශයෙන් 2013-2014 වර්ෂවල සේවය කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ උපසභාපතිවරයා වශයෙන් ආසන්නතම සාමාන්‍යාධිකාරි ලෙස කටයුතු කළ නිහාල් වික්‍රමසූරිය මහතා පත්කර ඇත. ලංවිම යේ වසර 35 ක අත්දැකිම් ඇති වික්‍රමසූරිය මහතා, ලංකා විදුලබල මණ්ඩලයෙහි ඉංජිනේරුවරයෙක්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙක්, අතිරේක සාමාන්‍යාධීකාරි සහ සාමාන්‍යාධිකාරි තනතුරු හොබවා ඇත.