විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතා දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබාගනී.
19 0

Posted by  in Latest News

මල්වතු – අස්ගිරි උභය විහාරාධිපති මහානායක ස්වාමීන් වහන්සේලාද බැහැදකී.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පාඨලී චම්පික රණවක මහතා, පසුගියදා සිය නිල කටයුතු ආරම්භ කළ අතර දළදා වහන්සේගේ ආශිර්වාදය ලබාගැනිම පිණිස මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත ගියේය.

මෙම චාරිකාවේදී දළදා වහන්සේ වැඳපුදාගත් අමාත්‍යවරයා, මල්වතු අස්ගිරි උභය විහාරාධිපති මහානායක ස්වාමීන් වහන්සේලාද බැහැදකින ලදී. පසුගිය මැතිවරණය සාධාරණව පැවැත්වීමට මෙන්ම, මැතිවරණයෙන් පෙර මෙන්ම පසුවද  රට තුළ ප්‍රචණ්ඩකාරීත්වයකින් තොරව සාමකාමී වාතාවරණයක් ඇතිකිරීමට, මහානායක ස්වාමීන් වහන්සේලාගේ මැදිහත්වීම ඉවහල්වූ බවත්, රට බෙදන බවට, ඒකීය භාවය විනාශවන බවට, කොටි සංවිධානය යළි හිස ඔසවන බවට රට තුළ පැතිරගිය මිත්‍යාමතයන් දුරුකිරීමටත් මහානායක ස්වාමින් වහන්සේලාගේ අනුශාසකත්වය පිටිවහලක්වූ බව අමාත්‍ය රණවක මහතා පැවසීය.

මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලා බැහැදැකීමෙන් අනතුරුව සිය අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අපගේ පළමු අරමුණ වන්නේ, ඉන්ධන මත පනවා ඇති අනවශ්‍ය බදු ඉවත්කර, ජනතාවට සහන ලබාදීමයි. මේ වනවිට ලෝක වෙළඳපොලෙන් ඉන්ධන අඩු මිලකට ලබාගන්න පුළුවන්. ඒ අනුව ජනතාවට දුන් පොරොන්දු ප්‍රකාරව ඉන්ධන සඳහා නව මිල සූත්‍රයක් හඳුන්වා දෙනවා. විදුලි ක්ෂේත්‍රය සඳහාද නව අය ක්‍රමයක් හඳුන්වාදීමට අදහස් කරනවා. මේ තුළින් ජනතාවට දැනගන්න හැකිවෙනවා, තමන් මේ බිල් ගෙවන්නේ ඇයි කියලා. ඒ වගේම ආයතන තුළ නව කළමනාකාරීත්වයක් හඳුන්වාදීමට අදහස් කරනවා. මීට වසර ගණනාවකට පෙර සිටම මන්නාරම් ද්‍රෝණියේ තෙල් සම්පත පිළිබඳව පර්යේෂණ ආරම්භ වුණා. මන්නාරම සිට ගාල්ල දක්වා වූ වෙරළ තීරයේ තෙල් සම්පත ඇති බවට ඒ තුළින් සොයා ගත්තා. මේ සම්පත නිසි පරිදි යොදාගත්තොත්, රටේ පවතින විශාල .ගැටළු  රාශියකට විසඳුම් ලබාගන්න පුළුවන්. මේක දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ. පාට, පක්ෂ භේදයකින් තොරව මේ තෙල් සම්පත නිසි පරිදි යොදාගැනීමට අපි සියලු දෙනාම කැප වියයුතුයි.

මේ වනවිට ව්‍යවස්ථා සංශෝධනය සඳහා  නව කෙටුම්පත් සකස්කර තිබෙනවා. ඒ වගේම ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙලක්ද මේ මස අග වනවිට ඉදිරිපත් කිරීමට නියමිතයි.  පසුගිය මැතිවරණයේදී රාජ්‍ය බලය නීතිවිරෝධිව පාවිච්චි වුණා. බිය වැද්දීම් සිදුවුණා. අනාගතයේදී එසේ සිදුනොවීමට මැතිවරණ කොමසාරිස් බලගන්වනවා. විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වියයුතුයි, මැතිවරණ කොමසාරිස්තුමා, නීතිපතිතුමා මෙන්ම පොලිස්පතිතුමා විසින් පසුගිය මැතිවරණයේදී සිදුවීමට සැලසුම්කර තිබූ අයථා මාධ්‍ය පරිහරණය මෙන්ම අයථා හමුදා පරිහරණයන් වැළැක්වීමට නිර්භීතව ඉදිරිපත්වීම සම්බන්ධව.

පසුගිය සමයේ සිදුවූ දූෂණ පිළිබඳ තොරතුරු දැන් එක්රැස් කරගනිමින් පවතිනවා. මේ වනවිටත් ඒ පිළිබඳ විශාල වශයෙන් තොරතුරු ලැබී තිබෙනවා. මෙම වංචා සහ දූෂණ පිළිබඳව විමර්ශනය කිරීමට විශේෂ විමර්ශන ඒකකයක් පත්කළ යුතුයි. ජනතාව තුළ සැකයක් තියෙනවා, ඇතැම් දූෂිත පිරිස් රජයට එක්වීමෙන්, එම දූෂණ යටපත් වෙනවාද කියලා. කිසිසේත්ම එසේ වෙන්නේ නැහැ. දේශපාලඥයෙක් වේවා, ව්‍යාපාරිකයෙක් වේවා, තරාතිරම කුමක් වුවත්, රජයට සහාය දුන්නත් නොදුන්නත්,  දූෂණ සහ වංචාවන්ට නීතිය ක්‍රියාත්මකකර දඩුවම්දීමක් අත්‍යාවශයයි. කොටි සංවිධානයේ පිරිස්, විශේෂයෙන් මේ රටට පුපුරණ ද්‍රව්‍ය ටොන් 36 ක් ගෙනාව, දළදා හාමුදුරුවො අභියස වගේම තවත් වැදගත් ස්ථාන රැසක පිපිරීම් සිදුකළ, රාජපක්ෂ ආණ්ඩුවේ ගෝඨාභය රාජපක්ෂගේ හුරතලාවූ කුමාරන් පද්මනාදන්ට විශේෂ අධිකරණයක් යටතේ  දඩුවම් ලබාදෙනවා. ඒ සම්බන්ධයෙන් ජනතාව අවදියෙන් සිටියයුතු අතර අපි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කරනවා. ඉදිරියේදීත් නිර්භයව වංචා දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ රජය දැනුවත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා “යැයි පැවසීය.