නවීන තාක්ෂණය යටතේ ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය සංවර්ධනයට ජපාන රජයේ පූර්ණ සහාය
01 0

Posted by  in Latest News

ශ්‍රී ලංකාවේ  විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා සහාය දැක්වීමට ජපන් ජාත්‍යන්තර සහයෝගීතා බැංකුව ඉදිරිපත් වෙයි. ජපන් සහයෝගීතා බැංකුවේ විධායක කළමනාකරණ අධ්‍යක්ෂ Yajima Koichi (යජීමා කොයිචි) මහතා ඇතුළු විශේෂ දූත පිරිසක්  විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය හමු වූ අවස්ථාවේදී මේ බව අවධාරණය කෙරිණි.

පසුගියදා දිවයිනට පැමිණි ජපන් රජයේ අගමැති Shinzo Abe ෂින්සෝ අබේ මැතිතුමාගේ සංචාරයේ ප්‍රථිඵලයක් ලෙස මෙම පිරිස දිවයිනට පැමිණියහ. ජපන් අගමැතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවන්හිදී මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනය සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි. ඒ අනුව අඩු පිරිවැයකින් විදුලිය නිෂ්පාදනය කර, එහි ප්‍රතිලාභ ජනතාවට ලැබෙන ආකාරයේ ව්‍යාපෘති ආරම්භ කිරීම පිළිබඳව ජපන් ජාත්‍යන්තර සහයෝගීතා බැංකුවේ ප්‍රධානීන්, අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය සමඟ සාකච්ඡා කළහ. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවති මෙම හමුවේදී ජපන් සහයෝගීතා බැංකුවේ නිලධාරීන් පෙන්වා දුන්නේ, ඉහළ තාක්ෂණය සහිතව විදුලිබල ක්ෂේත්‍රය  ප්‍රවර්ධනය ශක්තිමත් කිරීමට සහය ලබාදෙන බවයි. ඒ සඳහා මුදල් ආයෝජනය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම හමුවේදී අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය කියා සිටියේ ජපන් රජය ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ලබාදෙන සහය අගය කරන බවයි. විශේෂයෙන් මෙරට බලශක්ති ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා සහය ලබාදීමට ඉදිරිපත්වීම ප්‍රශංසනීය බවද අමාත්‍යවරිය කියා සිටියාය. දශක තුනක යුද්ධය නිමාකළ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා රට වේගයෙන් සංවර්ධනය කිරීමට උරදී සිටින බවත්, මේ වන විටත් විවිධ ක්ෂේත්‍රයන් යටතේ ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ ඇතිබවත් අමාත්‍යවරිය වැඩි දුරටත් පැවසුවාය.  මෙම හමුවට ජපන් ජාත්‍යන්තර සහයෝගීතා බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය විශේෂඥ (Deepa Salvan) දීපා සල්වාන් මෙනෙවිය,  ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ පළමු ලේකම් සහ ආර්ථික සහයෝගීතා අංශයේ ප්‍රධානී (K.Iwase) කේ.ඉවාසේ මහතා, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන එම්. අයි.එම්. රෆීක්, උපාලි දරණගම, කපිල ජයසේකර, යන මහත්වරුන් සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ශවීන්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.