මව්බිම කිසියම් තැනකට ගෙනඒම සඳහා අතිගරු ජනාධිපතිතුමාට නිවැරදි ඉලක්කයක් තිබෙනවා
25 0

Posted by  in Latest News

මව්බිම කිසියම් තැනකට ගෙනඒම සඳහා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිවැරදි ඉලක්කයක් තිබෙන බවත්, ඊට අනුකූලව සැලසුම් සකස් වී ඇති බවත්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය ප්‍රකාශ කරයි.

අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ, අනාගත පරපුරට අවශ්‍ය පහසුකම් නිර්මාණය කරදීමෙන් ඔවුන්ගේ අනාගත ගමන පහසු කිරීමේ වගකීම රජය භාරගෙන ඇති බවයි. අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය මේ බව කියා සිටියේ, රත්නපුර කලවාන මැතිවරණ කොට්ඨාශයේ අයගම මානෙල් මාවත, රයිගම්කන්ද අලිබැහේන, ගන්ගොඩකන්ද, මැදගොඩ  සහ නාගිරිකන්ද ප්‍රදේශවල පැවති විදුලි යෝජනාක්‍රම පහක් ජනතා අයිතියට පත්කිරීමේ උත්සව අවස්ථාවන්ට එක්වෙමිනි. මෙම විදුලි යෝජනාක්‍රම මගින් නිවාස 150 කට පමණ විදුලිය සැපයෙන අතර ඒ සඳහා රජය වැයකළ මුදල රු. ලක්ෂ 430 කි.

විදුලිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරිය කියා සිටියේ, රටක සංවර්ධනය සඳහා යටිතල පහසුකම් සැපයීම අනිවාර්ය වන බවයි. විදුලිය සැපයීම යනු ජනතාවගේ ජීවින තත්ත්වය ඉහළ දැමීමක් වන බවද, අමාත්‍යවරිය කියා සිටියාය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, නීතිඥ   පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය … “අපේ දරුවන්ගේ ජීවිත මීට වඩා උඩට ගන්න ඕන. එහෙම උඩට ගන්න නම්, ඒ අයට අවශ්‍ය පහසුකම් ටික දෙන්න ඕන. දැන් මේ දරුවන්ට විදුලිය තියෙනවා. කුප්පි ලාම්පුවෙන්, පෙට්‍රල්මැක්ස් එකෙන් පාඩම් කරන්න බැහැ කියපු දරුවන්ට, ලයිට් තියෙනකොට මීට වඩා පාඩම් කරන්න හැඟීමක් ඇතිවෙනවා. පාන්දර 04 ට නැගිටලා පාඩම් කරන්න කම්මැලියි කියලා, අම්මට තාත්තට කියපු දරුවො,ලයිට් එක දාලා පාඩම් කරාවි. පවුලක එක්කෙනෙක් ඉගෙන ගත්තොත්, මුළු පවුලම ගොඩනැගෙනවා.

මහින්දෝදය යටතේ භාෂාගාර, විද්‍යාගාර, ගණිතාගාර, සියලු ප්‍රදේශවල දරුවන්ට හොඳ තෝතැන්නක් වෙලා තියෙනවා. මේවා දැක්කම අපේ ඇස් වලට කඳුළු උනනවා. අපිට මේ වගේ දේවල් කරන්න පුළුවන් වුණාද කියලා. ඒ තරමට අපි පසුපසට ගියපු ජාතියක් ලෙසයි තිස් වසරක් තිස්සේ හිටියේ. ඒත් දැන් අපි ශක්තිමත් වෙමින් සිටිනවා. ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබන, ඉංග්‍රීසි කතාකරන, පරිගණකය භාවිතා කරන, මුළු ලෝකයත් එක්ක ගනුදෙණු කරන, ඉහළ මට්ටමේ දරුවෝ කැළක් තමයි, තව අවුරුදු තුන හතරකින් ගමට බිහි වෙන්නේ. ඒ දරුවන්ට මේ පාරවල් හැදෙනවා. දරුවන්ට විදුලිය ලැබෙනවා. මේ ස්කෝලෙකින්, එක ඉංජිනේරුවෙක් බිහිවුණොත්, එක වෛද්‍යවරයෙක් බිහිවුණොත්, ගණකාධිකාරිවරයෙක් බිහිවුණොත්, ඒක ගෙදරට හයියක්, ගමට ශක්තියක්, රටට ආඩම්බරයක්. ඒ නිසා දරුවන්ට අපි උගන්නගන්න ඕන. ඒකට අවශ්‍ය මූලික පහසුකම් හදන්න අතිගරු ජනාධිපතිතුමා දැඩි තීන්දුවක් ඇතිව ක්‍රියා කරගෙන යනවා. ඒ නිසා එතුමාගේ ලොකු ඉලක්කයක් තියෙනවා මේ මව්බිම තැනකට ගේන්න. අපේ රට ආසියාවේ ආශ්චර්යය  බවට පත්කරන්න අවශ්‍ය වැඩපිළිවෙල අද කෙරෙමින් යනවා” යැයි අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය. මෙම අවස්ථාවට කලවාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර, සබරගමුව පළාත්සභා සභාපති කංචන ජයරත්න, අයගම ප්‍රාදේශීයසභාවේ සභාපති නිශාන්ත පුෂ්පකුමාර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.