පුත්තලම ලක්විජය විදුලි බලාගාරයේ දෙවන හා තෙවන අදියරේ මෙහෙයුම් කටයුතු ඇරඹේ.
17 0

Posted by  in Latest News

පුත්තලම ලක්විජය විදුලි බලාගාරයේ දෙවන හා තෙවන අදියරේ මෙහෙයුම් කටයුතු මහජන චීන සමූහාණ්ඩුවේ අතිගරු ජනාධිපති ශී ජින් පින්ග් මැතිතුමා සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2014/09/16 ආරම්භ කරනු ලැබීය. කොළඹ, ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට දුරස්ථ පාලකයක් යොදාගනිමින්, ජනාධිපතිවරු දෙපල, ලක්විජය බලාගාරයේ මෙහෙයුම් කටයුතු දියත් කිරීම විශේෂත්වයක් විය.

මේ අනුව ඊයේ සිට, පුත්තලම, ලක්විජය ගල්අඟුරු බලාගාරය මගින් මෙගාවොට් 900 ක ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කෙරිණි. පුත්තලම ලක්විජය බලාගාර භූමියේ සහ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ මේ සඳහා විශේෂ උත්සව දෙකක් සංවිධානය කර තිබුණි විදුලිබල හා බලශක්ති අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය සහභාගී වී සිටියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති උත්සව අවස්ථාවටය. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම්, එම්. එම්. සී ප්‍රදිනාන්දු මහතා සහ විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්. බී. ගනේගල මහතාද ඊට එක්වී සිටියහ.

නොරොච්චෝල බලාගාර පරිශ්‍රයේ  පැවති උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ, ජ්‍යේෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මැතිතුමාය. විෂයභාර අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනියගේ විශේෂ නියෝජිතයෙකු ලෙස, සබරගමුව පළාත්සභාවේ සභාපති කංචන ජයරත්න මැතිතුමාද ඊට සහභාගී විය. මේ අතර අමාත්‍යවරුන් වන පොල් සංවර්ධන සහ ජනතා වතු සංවර්ධන අමාත්‍ය වික්ටර් ඇන්ටනි පෙරේරා, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස බලල්ල මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ශවින්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා, අතිරේක සාමාන්‍යාධිකාරි  එම්.සී. වික්‍රමසේකර මහතා ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ද වයඹ පළාත්සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ද, බලාගාරයේ ඉදිකිරීම් භාරව කටයුතු කළ චීනයේ CMEC සමාගමේ නිලධාරීන්ද මීට එක්ව සිටියහ.

පුත්තලම, ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරය, අදියර දෙකකින් සමන්විතය. පළමු අදියර යටතේ මෙගාවොට් 300ක් නිපදවන අතර මෙම විදුලිය, නොරොච්චෝල බලාගාරයේ සිට වේයන්ගොඩ දක්වා සම්ප්‍රේෂණය කෙරේ. දෙවන අදියර  යටතේ මෙගාවොට් 300 බැගින් වූ ටර්බයින දෙකක් ක්‍රියාත්මක කෙරෙන අතර එමගින් මෙගාවොට් 600ක් නිපදවේ. මෙසේ නිපදවන විදුලිය, නොරොච්චෝල බලාගාරයේ සිට අනුරාධපුරය දක්වා දිවෙන කි.වො. 220 අධිසැර සම්ප්‍රේෂණ මාර්ගයේ කුළුණු 234 ක් ඔස්සේ රැගෙන යාමට නියමිතය.

ජාතික විදුලිබල පද්ධතියට, එකවර තාප බලශක්තිය මෙගාවොට් 900 ක ධාරිතාවයක් සම්බන්ධ කිරීම, අනාගත බලශක්ති අභියෝග හමුවේ ශක්තිමත් පියවරක් වේ. ජලවිදුලි උත්පාදනය හැරුණවිට, පිරිවැය අවම ලාභදායි විදුලිය නිෂ්පාදනය වන්නේ ගල්අඟුරු වන බැවින්, එය මෙරට බලශක්ති ක්ෂේත්‍රයට සුවිශේෂී අවස්ථාවක් වනු ඇතිබව විදුලිබල හා බලශක්ති අමාත්‍ය,  නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය ප්‍රකාශ කරයි. මහජන චීන සමූහාණ්ඩුවේ සහන ණය ආධාර මත නොරොච්චෝල බලාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2006.05.11 දින, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. ව්‍යාපෘතියේ ඉදිකිරීම් (China Machinery Engineering Corporation) CMEC සමාගම මඟින් සිදුකරන ලදී. ව්‍යාපෘතියේ ප්‍රධාන මූල්‍ය සැපයුම්කරු මහජන චීන සමුහාණ්ඩුවේ එක්සිම් (China Exim Bank) බැංකුවයි.  ප්‍රථම අදියර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 455 ක් වැය වී ඇති අතර දෙවන අදියර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 891 ක් වැය කෙරිණි. මේ අනුව සමස්ථ ව්‍යාපෘතිය සඳහා වැයකර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1346 කි.

නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරය, 2011.03.22  දිනඅතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. බලාගාරයේ වානිජ විදුලිය නිෂ්පාදනය 2011 ජූලි 24 දින ආරම්භ කරන ලදී. මෙම බලාගාරයේ මුල් අදියරේ නිෂ්පාදනය හේතුවෙන් අනෙකුත් තාප බලාගාර වල නිෂ්පාදනය ඊට සමාන ප්‍රමාණයකින් අඩු කිරීමට හැකියාව ලැබී ඇත. බලාගාරය ක්‍රියාත්මක කළ දින සිට මේ දක්වා නිෂ්පාදනය කර ඇති විදුලි ප්‍රමාණය දැනට මෙයට විකල්ප වශයෙන් ලබාගත හැකි තාප බලාගාර වලින් ලබාගන්නේ නම් ඒ සඳහා ආසන්න වශයෙන් රුපියල් බිලියන 65 කට වැඩි මුදලක් වියදම් වනු ඇත. ඒ අනුව බලාගාරය ගොඩනැගීම සඳහා වියදම් වූ මුදලට වැඩි ප්‍රමාණයක මුදල් ඉතිරියක් මේ වනවිටත් බලාගාරයේ පළමු අදියර නිෂ්පාදන හේතුවෙන් ඉතිරිකර ගැනීමට හැකිවී ඇත. 2005 වසර වන විට ශ්‍රී ලංකාවේ සමස්ත නිවාස සංඛ්‍යාවෙන්  76.7%කට විදුලිය සපයා තිබූ අතර 2014 වනවිට එය 97% ක් බවට පත්වී තිබේ. 2005 වසරේ රටේ මුළු ස්ථාපිත විදුලි ධාරිතාවය මෙගාවොට් 2412 ක් වන අතර 2013 වනවිට, එය  මෙගාවොට් 3,363 ක් ලෙස ඉහළ නංවා තිබේ. 2005 වසර වනවිට දිවියිනේ විදුලි පාරිභෝගික සංඛ්‍යාව තිස්තුන් ලක්ෂ අනූඅට දහස් හතලිස් හයක් (3,398,046) වූ අතර වසර 2013 වනවිට එම සංඛ්‍යාව පනස් ලක්ෂ තුන්දහස් හත්සිය අසූ නවයක් (5,003,789) දක්වා වර්ධනය වී තිබේ. 2011 ජූලි සිට 2013 දෙසැම්බර් අවසානය දක්වා නිෂ්පාදිත විදුලිය ගිගාවොට් පැය ගණන 3646 වේ. එයින් රටට වූ ලාභය ආසන්න වශයෙන් රුපියල් බිලියන 65 ක් පමණ වේ.