තවදුරටත් ලංකා විදුලිබල මණ්ඩලය ණය ආයතතනයක් බවට පත්වෙන්නේ නැහැ.
10 0

Posted by  in News

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දූරදර්ශී නායකත්වය යටතේ, ලංකා විදුලිබල මණ්ඩලය අද, ජනතාවට සහන සලසන ජනතාවාදී ආයතනයක් බවට පත්වී ඇති බවත්, ඒ අනුව තවදුරටත් එය, ණය ආයතනයක් බවට පත් නොවන බවත්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය ප්‍රකාශ කළාය. අමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කළේ, පසුගියදා රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ, ග්‍රාමීය අඩුආදායම්ලාභී ජනතාවගේ නිවාස සඳහා විදුලිය සම්බන්ධතා ලබාගැනීමේ ණය ආධාර වැඩසටහනට සහභාගි වෙමිනි.

සබරගමුව පළාත්සභා ශ්‍රවණාගාරයේ පැවති මෙම සමාරම්භක අවස්ථාවේදී, අඩු ආදායම්ලාභී නිවාස හිමියන් 1300 කට පමණ ණය ලබාදීම සිදුකරන ලදී. අඩු ආදායම්ලාභී ග්‍රාමීය පවුල් නගාසිටුවීමේ මහින්ද චින්තන ඉදිරි දැක්මට සමගාමීව, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මගපෙන්වීම මත, ලංකා විදුලිබල මණ්ඩලය ව්‍යාපෘතිය දියත් කරනු ලැබේ. මේ යටතේ එක් පවුලක් සඳහා රු.40,000.00 උපරිමයකට යටත්ව, ණය මුදල පිරිනැමෙන අතර එය වසර 6 ක් ඇතුළත කොටස් වශයෙන්  විදුලිබිල සමඟ ගෙවා නිමකිරීමට අවස්ථාව හිමිවේ. ‍හම්බන්තොට, අම්පාර හා රත්නපුර දිස්ත්‍රික්කවල විදුලිය නොමැති අඩු ආදායම්ලාභී  ග්‍රාමීය පවුල් සඳහා ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක වේ. මෙම සහන ණය යෝජනා ක්‍රමය යටතේ දිවයිනේ අඩු ආදායම්ලාභී නිවාස හිමියන් 47,000 කට පමණ ණය ලබාදීමට අපේක්ෂිතය. සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය. නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය කියා සිටියේ, 2014 වසර ඇතුළත දිවයිනේ සියලු නිවාස සඳහා විදුලිය සම්බන්ධතා ලබාදීමේ වැඩසටහන වේගවත් කිරීම සඳහා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ මඟපෙන්වීම මත මෙම සහන ණය ක්‍රමය ආරම්භ කළ බවයි. විදුලිබලය මානව හිමිකමක් ලෙස සලකා, සියලු දෙනාට විදුලිය ලබාදීම රාජ්‍ය ප්‍රතිපත්තිය කරගත් එකම රජය, වත්මන් රජය බවද, පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය කියා සිටියාය.

උත්සව අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය, “මගේ පියතුමා ගොඩක් දුක් විඳලා ගොඩආව කෙනෙක්. එතුමා එදා අපිට කිව්වේ, හැම මොහොතකම පොඩි මිනිහාගේ පැත්තෙන් හිතලා තීන්දු ගන්න කියලා. ඒ නිසා මම මොන අමාත්‍යාංශය බාර ගත්තත්, අපේ පන්තියේ, පොඩි මිනිස්සුන්ගේ පැත්තෙන් හිතලා තමයි වැඩ කරන්නේ. මම විදුලිබල අමාත්‍යාංශය බාරගන්න අවස්ථාවේ තිබුණ නීතිය තමයි, ගමට විදුලිය තිබුණත්, තමන්ගේ ගෙදරට විදුලිය ගන්න කණු දාන්න ඕනනම්, ඒ සඳහා ජනතාව පුද්ගලිකව වියදම් කරලා කණු දාගන්න ඕන කියලා. නමුත් මම ඒ නීතිය වෙනස් කළා. මම අමාත්‍යාංශය බාර අරගෙන, ගමට විදුලිය දෙනවා වගේම, සෑම නිවසක් ඉදිරිපිටටම විදුලි කණුවක් සිටුවන එක ලංකා විදුලිබල මණ්ඩලය මඟින් කරන්න ඕන කියලා ප්‍රගතිශීලී තීන්දුවක් ගත්තා.

එදා ජනාධිපතිතුමා මට දුන්න වගකීම තමයි, 2014 අවසන් වෙද්දි දිවයිනේ සෑම ගෙදරකම ලයිට් එකක් පත්තු වෙන්න ඕන කියලා. අපට ගම් වලට ගියාම තේරුණ දෙයක් තමයි, ගමට විදුලය ආවත්, කණුවේ ඉඳලා නිවසට විදුලිය ලබාගන්න එකත් අපහසුයි අපේ දුප්පත් ජනතාවට. සමහරුන්ට තමන්ගේ නිවස වයරින් කරගන්නත් මුදල් නැහැ. ඒ සඳහා වැය වෙන මුදල ඔවුන්ට දෙන්න කෙනෙක් නැහැ. ආයතනයක් නැහැ. ඒ ගැටළුවට විසදුම් සොයද්දි තමයි, කණුවේ සිට නිවසට විදුලිය ලබාගන්නත්, නිවස වයරින් කරගන්නත් යන වියදම ලංකා විදුලිබල මණ්ඩලයෙන් ලබා දීල, වසර 06 ක් ඇතළත, මාසික වාරික  72 ක් මගින්, සතයකවත් පොලියක් නැතිව, විදුලි බිලත් සමඟ ගෙවිලා ඉවරවෙන විදිහට අපට ජනතාවට මෙම ණය මුදල ලබාදෙන්න හැකි වුණේ. මෙම ප්‍රගතිශීලී කටයුත්තට උපදේශකත්වය ලබාදීම සම්බන්ධයෙන් අපි අපේ අතිගරු ජනාධිපතිතුමන්ට මේ අවස්ථාවේදී කෘතවේදීත්වය ඵලකළ යුතුයි. රටට, ජනතාවට මහත් ආදරයකින්, පියතුමෙක් වගේ සලකන අපේ ජනාධිපතිතුමාට අපගේ ප්‍රණාමය හිමිවිය යුතුයි.

මට පුළුවන් වුණා අද, ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්න. පසුගිය කාලේ කෝප් වාර්ථාවේ, අසාදු ලේඛණයේ තිබුණ ලංකා විදුලිබල මණ්ඩලය අද ලාභ ලබන තත්ත්වයට පත් වෙලා. රටට බරක් නැති ආයතනයක් බවට පත්වෙලා. ඒ සඳහා මට සහාය දෙමින් දායකත්වය ලබාදුන්න ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට මුළු ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුයි. මෙතනින් එහාට ලංකා විදුලිබල මණ්ඩලය ණය ආයතතනයක් බවට පත්වෙන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමාගේ දූරදර්ශී නායකත්වය හමුවේ අද ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවට සහන සලසන ජනතාවාදී ආයතනයක් බවට පත්වෙලා. ඒක අපි ලබපු පැහැදිළි ජයග්‍රහණයක්. විදුලිය කියන්නේ මහ පුදුම දෙයක්. අද ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම විදුලිය තියෙනවා. මේ වසර අවසන් වෙද්දි ලංකාවේ විදුලි සැපයුම 100% ක් බවට පත්කරන්න හැකිවෙනවා. ඉන්දියාව, නේපාලය, පාකිස්ථානය, චීනය වගේ මේ කලාපයේම රටවල මේ වනවිටත් 100 %ක අඛණ්ඩ විදුලි සැපයුමක් නැහැ. නමුත්, අතිගරු ජනාධිපතිතුමා මට ඒ ඉලක්කය දුන්නා. මම මගේ නිලධාරීන්ට එම ඉලක්කය කිව්වාම, ඔවුන් ඒ ඉලක්කය කරා යන්න අද වැඩකරනවා.

80,90 කාලවලදී විදුලිය කප්පාදුවක් තිබුණා. 2002 – 2004 කාලෙදිත් විදුලිය කැපුවා. මේ කලාපයේ කප්පාදුවක් නොමැතිව විදුලිය සපයන එකම රට ශ්‍රී ලංකාව බවට පත්කරන්න මට හැකිවුණා. ඒ සඳහා ලංකා විදුලිබල මණ්ඩල සේවක මහතුන්ගේ නොමසුරු සහාය මට ලැබුණා. ඔබේ දරුවා, තවදුරටත් ඔබ සිටින තැන සිටියයුතු නැහැ. දරුවා ඔබ සිටින තැනට වඩා මහා ඉහළට ගෙනියන්න ඔබට හැකිවේවි විදුලිය ලැබීම තුළින්. එමගින් දරුවාගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව ඉටුකරගන්න හැකිවේවි. මේ නිසාම, විදුලිය ලබාගැනීම සඳහා අවශ්‍ය මුදල්, මෙසේ සහන ණය  ක්‍රමයක් මගින් ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය ගත් මේ තීන්දුව නිසා,  ඔබගේත්, ඔබගේ දරුවන්ගේත් ජීවිත ශක්තිමත්, ආලෝකමත් ජීවිත බවට පත්වෙනවා නොඅනුමානයි “යැයිද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය. මෙම අවස්ථාවට සබරගමුව පළාත්සභාවේ සභාපති කංචන ජයරත්න, සබරගමුව පළාත්සභා අමාත්‍ය රංජිත් බණ්ඩාර, ලංකා විදුලිබල මණ්ඩලයේ උප සභාපති මහාචාර්ය කපිල පෙරේරා, සාමාන්‍යාධිකාරි ශවින්ද්‍රනාත් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ද, රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත්සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයන්ද සහභාගී වූහ.