රටේ සියලු ජනතාවට විදුලිය ලබාදීම ජාතික වගකීමක්. ඊට අවැසි සියලු ක්‍රියාමාර්ග ගත්තේ වත්මන් රජයයි.
21 0

Posted by  in Latest News

රටේ සියලු ජනතාවට විදුලිය ලබාදීම ජාතික වගකීමක් ලෙස සලකා, ඊට අවැසි සියලු ක්‍රියාමාර්ග ගත්තේ, වත්මන් රජය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කරයි.  අමාත්‍යවරිය කියා සිටියේ, විදුලිය මානව හිමිකමක් ලෙස සලකා, විදුලිය බෙදාහැරීමේදී පැවති සියලු බාධක ඉවත්කිරීමට විදුලි පනත පවා සංශෝධනය කළ බවයි. අමාත්‍යවරිය මේ බව කියා සිටියේ, පසුගියදා බලංගොඩ සහ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ඉදිකළ ප්‍රධාන පෙළ විදුලි යෝජනා ක්‍රම  තුනක් ජනතා අයිතියට පත්කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී අමාත්‍යවරිය විසින් ප්‍රථමයෙන්ම එගොඩවලේගොඩ, කොවුල්කැටිය විදුලි ව්‍යාපෘතිය ජනතා අයිතියට පවරන ලදී. මේ සඳහා රජය විසින් වැයකළ මුදල රු.17,500,000 කි. (රු.එක්කෝටි හැත්තෑ පන්ලක්ෂයකි). මෙමගින් නිවාස 189 කට විදුලිය පහසුකම් සැපයේ. අනතුරුව අමාත්‍යවරිය විසින් හතරබාගේ, නියඳකොළයාය විදුලි  යෝජනා  ක්‍රමය ජනතා අයිතියට පත්කරන ලද අතර ඒ සඳහා රජය වැයකළ මුදල ර.15,600,000 කි. (එක්කෝටි පනස් හය ලක්ෂයක්) . මෙමගින් නිවාස 89 ක් සඳහා විදුලිය සැපයේ. අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය ඉන් අනතුරුව කීනගහඇල්ල විදුලි දිගුව ජනතා අයිතියට පත්කළ අතර එමගින් පවුල්  12 කට විදුලිය සැපයේ. මේ සඳහා රජය විසින් වැයකළ මුදල රු. 1,400,000 (රු.ලක්ෂ 14 ) කි. ඒ අනුව මෙම ව්‍යාපෘති තුන සදහා  රජය වැය කළ මුදල රු. 34,500,000ක් (රු. තුන්කෝටි හතලිස්පන් ලක්ෂයක්) වන අතර ඉන් නිවාස 287 සදහා විදුලිය හිමි වේ.  උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරිය කියා සිටියේ, තමා විදුලිබල අමාත්‍ය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව, විදුලි පනත සංශෝධනය කල බවයි. එම සංශෝධනයත් සමඟ විදුලිය බෙදාහැරීමේදී පැවති බාධක රැසක් ඉවත්කර ගැනීමට හැකිවූ බවද අමාත්‍යවරිය කීවාය.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අදහසකට අනුව සියලු නිවාස සඳහා විදුලිය සම්බන්ධතා ලබාදීම සඳහා, විදුලිය  ලබාගැනීමට ආර්ථික දුෂ්කරතා පවතින නිවාස හිමියන්ට, ඒ සඳහා අවශ්‍යවන මුදල් විදුලිබල මණ්ඩලයෙන් ලබාදී, ඒ මුදල විදුලිබිල සමඟ වසර 6 කින් ගෙවා නිම කිරීමට අවස්ථාව උදාකරදී ඇතැයිද අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය,

“අතිගරු ජනාධිපතිතුමා මට විදුලිබල අමාත්‍යාංශය බාරදීලා, මට ඉලක්කයක් දුන්නා. ගමෙන් බිහිවුණ නායකයෙක් හැටියට, කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන දරුවන්ගේ දුක දන්න නායකයෙක් හැටියට, දෙමව්පියන් ඉන්න තැනින්, දරුවන් ඉහළට ගන්න වෙරදරන නායකයෙක් හැටියට, එතුමා මට දුන්න ඉලක්කය තමයි, 2014 අවසන් වෙද්දි ලංකාවේ සෑම ගමකටම විදුලිය දෙන්න කියන එක.

අපි දේශපාලනය කරන්නේ ජනතාවගේ ජීවිත එළිය කරන්න. ජනතාව ඉන්න තැනින් ඉහළට ගන්න. අපේ වෙන බලාපොරොත්තු නැහැ. ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ කරගන්න, අපි කරන කැපකිරීම් යථාර්ථයක් බවට පත්වෙන්නේ, අපේ ඉලක්ක සාර්ථක වුණොත් පමණයි. අපේ ජනාධිපතිතුමා මට දුන්න ඉලක්කය ජයගන්න තිබුණ බාධකය තමයි, අපේ ජනතාවගේ දිළිඳුකම. ඒ කියන්නේ, ඒ දවස්වල ගමට විදුලිය ආවත්, තමන්ගේ ගේ ළඟට විදුලිය ගන්න අවශ්‍ය කණු, ජනතාව විසින්ම සපයාගන්න  වුණා. අපේ දුප්පත් ජනතාවට ඒකට මුදල් නැහැ.  ඒ නිසා තමයි, මම විදුලිබල පනත වෙනස් කළේ. එහෙම කරලා, සෑම නිවසක් ඉදිරිපිටටම විදුලි කණුවක් සිටුවන්න, ලංකා විදුලිබල මණ්ඩලයට පැවරුවා. එහෙම කළත්, කණුවේ ඉදලා නිවසට විදුලිය ගන්නවත්, තම නිවස වයරින් කරගන්නවත් අපේ ජනතාවට මුදල් තිබුණේ නැහැ. ඒ නිසා තමයි ඒ සඳහා, විදුලිබිලත් සමග වාරික 72 කින්, ඒ කියන්නේ වසර 6 කින් ගෙවිලා නිම වෙන විදිහට රු. 40,000.00 ක සහන මුදලක් විදුලිබල මණ්ඩලෙන් දෙන්න අපි තීරණය කළේ.

අද ඉංග්‍රීසි කතාකරන, පරිගණක දැනුම ඇති මුළු ලෝකයක් ජයගන්න පුළුවන් තරුණ පිරිසක් අපේ පාසල්වලින් උඩට එනවා. ඔබ කෙරුව රැකියාව, ඔබේ දරුවටත් උරුම වෙන්න අපේ අතිගරු ජනාධිපතිතුමා ඉඩතියන්නේ නැහැ.  ඔබේ දරුවන්ව හොඳ තැනකට ගේන්න එතුමා කටයුතු කරනවා. ඊට අවශ්‍ය යටිතල පහසුකම්, මුදල් ලැබෙනවා. එහෙම මුදල් ලැබෙන්නේ රටේ තිබෙන ආර්ථික ස්ථායිතාවය නිසා. නියම ආකාරකට රටේ ආර්ථිකය හසුරුවන නිසා යැයි” ද අමාත්‍යවරිය පැවසුවාය. මෙම අවස්ථාවට සබරගමුව පළාත්සභා සභාපති කංචන ජයරත්න, සබරගමුව පළාත් අධ්‍යාපන, සංස්කෘතික සහ තොරතුරු තාක්ෂණික අමාත්‍ය භානු මුනිප්‍රිය, සබරගමුව පළාත්සභා මන්ත්‍රී සාලිය එල්ලාවල යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.