Posted by in Latest News
වසර ගණනාවක් තිස්සේ කෝප් වාර්තාවේ (පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව) අසාදු ලේඛණයේ පැවති ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇති බව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය ප්‍රකාශ කරයි. අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිවැරදි ආර්ථික ප්‍රතිපත්තිය හමුවේ මෙවැනි පරිවර්තනයක් සිදුවී ඇති බවයි.
අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය මේ බව කියා සිටියේ, පසුගියදා පැවති, කොළොන්න මැතිවරණ කොට්ඨාශයේ ඇරෑපෝරුව, පහලවලකඩ හා දික්වෙල කටුවෙදමැද මාදන විදුලි යෝජනා ක්‍රම ජනතා අයිතියට පත්කිරීමේ උත්සව අවස්ථාවන්ට එක්වෙමිනි. රු.ලක්ෂ 400 ක් පමණ වැය කරමින් ඉදිකරන ලද මෙම විදුලි යෝජනා ක්‍රම මගින්, නිවාස 250 කට පමණ විදුලිය සැපයේ. උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරිය කියා සිටියේ, ලංකා විදුලිබල මණ්ඩලය, පසුගිය 2013 වසරේ සැලකියයුතු ලාභයක් ලැබූ බවයි. 2014 වසරේදීද එවැනි ලාභයක් අපේක්ෂා කරන බවද එතුමිය පැවසුවාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය,
“අපේ ජනාධිපතිතුමා මේ අමාත්‍යාංශය මට බාරදීලා කිව්වේ, 2014 අවසන් වෙද්දි මුළු රටටම විදුලිය දෙන්න කියලා. ගමක ඉපදුන, ගමේ ජනතාවට ආදරය කරන නායකයෙක් විදිහට එතුමා දන්නවා, ගමේ පොඩි මිනිහා විදුලිය නැතිව විඳින දුක. ඒ නිසා තමයි ගමට විදුලිය දෙන්න ක්‍රියාත්මක වුණේ. ජනාධිපතිතුමා සැබෑවටම දරුවන්ට ආදරෙයි. ගැමියෙක් විදිහට එතුමා දන්නවා මඩවගුරේ බැහැලා, සපත්තු අතේ අරන් පාසල් යනකොට දරුවන් විඳින පීඩාව. කුප්පි ලාම්පුවෙන් පාඩම් කරද්දි තියෙන පීඩාව. ඒ නිසා තමයි එතුමා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තේ, ගම සංවර්ධනය කරන්න. කෙසේ නමුත් 2014 අවසන් වෙද්දි සෑම නිවසකටම විදුලිය දෙනවා. අපේ ජනාධිපතිතුමා හිතුව විදිහට මේ රටේ මීට කළින් පහළවුණ ජනාධිපතිවරු හිතුවානම්, මේ ප්‍රදේශ වලට විදුලිය ලැබෙන්න තිබුණේ මීට වසර 30 කට කළින්. නමුත් අපේ ජනාධිපතිතුමා විතරයි තීරණය කළේ, ගැමි ජනතාවට විදුලිය ලබා දෙන්න.
අපේ රටේ නායකයාගේ බලාපොරොත්තුව තමයි, අම්මලා තාත්තලා ඉන්න තැන් වලට වඩා ඉහළ තැනකට අපේ දරුවෝ ගෙනඒම. අපේ ජනතාවගේ හිත් හයියයි. පණ හයියයි. කොණ්ද කෙළින්. කිසිම දේකින් සැලෙන්නේ නැහැ. මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන්. එහෙම දෙමව්පියන්ගේ දරුවන්ට ජන්මයෙන් උරුම වුණ ගුණාංග වලට යම් පන්නරයක් ලබාදුන්නම, ඒ දරුවෝ නවතින තැන හිතන්නත් බැහැ. අද අපේ රට නැගිටිමින් සිටිනවා. අතිදුෂ්කර ගම් පවා සංවර්ධනය වෙමින් පවතිනවා. මේ වසර අවසන් වෙද්දි රටේ විදුලියනය 100 % ක් බවට පත්වෙනවා. මම අමාත්‍ය ධූරයට පත්වෙද්දි, ගමට විදුලිය තිබුණත්, ගෙවල් ලඟ විදුලි කණුවක් නැහැ. ඒ නිසා ජනතාවට විදුලිය ලබාගැනීමට බැහැ. ඔවුන් තමන්ගේ වියදමෙන් කණු සපයගන්න සිදුවුණා. නමුත් මම විදුලිබල පනත වෙනස් කළා. ගෙවල් ලඟටම කණු සිටුවීමේ වගකීම ලංකා විදුලිබල මණ්ඩලයට පැවරුවා. එතනින් නැවතුණේ නැහැ. මහපොළවත් සමග පොරබදන අපේ අහිංසක දුප්පත් ජනතාවට ගේ ඉදිරිපිට තිබෙන විදුලි කණුවෙන් විදුලිය ලබාගැනිමටවත්, තම නිවාස වයරින් කරගැනීමටවත් ශක්තියක් නැහැ. ඒ ගැටළුව විසඳන්න තමයි, වසර 6කින් විදුලි බිලත් සමග ගෙවිලා ඉවර වෙන්න, රු. 40,000.00 ක ණයක් ලබාදෙන්න අපි තීරණය කළේ. ඒ මුදල විදුලිබිල සමඟ ගෙවිලා යන්න සකස්කර තිබෙනවා. ආර්ථික දුෂ්කරතා පවතින ග්‍රාමීය ජනතාවට විදුලිය ලබාගැනීම සඳහා සහන වැඩසටහනක් ලෙස මෙය ක්‍රියාත්මක වෙනවා. විදුලිය බෙදාහැරීම සාර්ථකව සිදුකිරීමෙන් ජන ජීවිත තුළ ආර්ථික හා සමාජයීය මෙන්ම සංස්කෘතිකමය වශයෙන්ද සැබෑ පරිවර්තනයක් සිදුවෙනවා.
මහින්ද රාජපක්ෂ යුගය කියන්නේ අලුතෙන් හිතලා වැඩකරන මහා පරිවර්තනීය යුගයක්. ඒ පරිවර්තනය දුප්පත් මිනිසුන්ගේ ජීවිත ගෙඩගන්න පරිවර්තනයක්. එක්සත් ජාතික පක්ෂය අපට මොනවාද කළේ. පාරක් හැදුවේ නැහැ. නිවසකට විදුලිය දුන්නේ නැහැ. ස්කෝල හැදුවේ නැහැ. ඔවුන් ආවේ ඡන්ද ගන්න විතරයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා ජීවත්වෙලා ඉන්නකල් රනිල් වික්‍රමසිංහ මහත්තයාට ආයෙමත් බලයට එන්න ලැබෙන්නේ නැහැ. ජනතාව කිසිම විදිහකින් මේ ආණ්ඩුව පරද්දන්න වැඩ කරන්නේ නැහැ. ජනතාව දන්නවා ඔවුන් වෙනුවෙන් වැඩක් කරන්නේ මේ ආණ්ඩුව බව. මේ රටේ දුක් විඳින, කුප්පි ලාම්පුවෙන් එළිය දකින ජනතාවට විදුලිය දෙන්න අපට පුළුවන් වුණා. විදේශ ගෘහ සේවයට යන පිරිස මේ වනවිට 38% කින් අඩු වෙලා. එංගලන්තය හැරුණම ගණකාධිකාරිවරු වැඩියෙන්ම පිටරට යනව රට ලංකාව බවට අද පත්වෙලා.
ලංකා විදුලිබල මණ්ඩලය වසර ගණනාවක් පාඩු ලැබුවා. කෝප් වාර්තාවේ පාඩු ලබන ආයතන අතරට ලං.වි.ම. එක්වුණා. නමුත් පසුගිය වසරේ ලං.වි.ම. සැලකියයුතු ලාභයක් ලැබුවා. මේ වසරේදීත් ඒ ආකාරයෙන් ලාභ ලබන තත්ත්වයකට පත් කරන්න අපේ අතිගරු ජනාධිපතිතුමාගේ, දූරදර්ශී පාලන ක්‍රමවේදයට හැකිවෙලා තිබෙනවා” යැයිද අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය පැවසීය. මෙම අවස්ථාවට සබරගමුව පළාත්සභා සභාපති කංචන ජයරත්න, කොළොන්න ප්‍රාදේශීය සභා සභාපති දයා පතිරණ, උප සභාපති චින්තක පතිරණ යන මහත්වරුන් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.