බටහිරවාදී න්‍යාය පත්‍රයට නොව, ශ්‍රී ලංකාවේ දේශීය අනන්‍යතාව ශක්තිමත් කරන ආර්ථිකයක් ගොඩනැගීම රජයේ අරමුණයි.
02 0

Posted by  in Latest News

බටහිරවාදී න්‍යායපත්‍ර වලට නොව, ශ්‍රී ලංකාවේ දේශීය අනන්‍යතාවය ශක්තිමත් කරන ආර්ථිකයක් ගොඩනැගීම අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු සන්ධාන රජයේ ප්‍රමුඛතම අරමුණ බව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය ප්‍රකාශ කරයි. අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ, මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ, රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙනයාම තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ වෙනත් බටහිර රටවල්වල ආර්ථික මොඩලයන් වෙත නොයා, රටට ගැළපෙන ආර්ථික ක්‍රියාවලියක් රට තුළම නිර්මාණය වී ඇති බවයි.

LED ආලෝකනයේ මෙරට ප්‍රමුඛ ආයතනයක් වන Eco Solve (ඉකෝ සෝල්ව්) සමාගමේ, පළමු ප්‍රදර්ශනාගාරය නුගේගොඩදී විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක් වෙමින්, අමාත්‍යවරිය මේ බව කියා සිටියාය.ඉතා කෙටි කාලසීමාවක් තුළ කලාපීය රටවල් අතුරින් ආර්ථිකමය වශයෙන් නැගීසිටීමට ශ්‍රී ලංකාවට හැකිවී ඇති බවත්, එය ඇතැම් බටහිර බලවේග වලට දරා ගැනීමට නොහැකිවී ඇති බවත් නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය මෙහිදී පෙන්වා දුන්නාය. රට තුළ  සිදුවන එම මහා ආර්ථික පරිවර්තනය උසුලාගැනිමට නොහැකි, ඇතැම් බටහිර බලවේග ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනගන නායකත්වයේ පෞර්ෂ්‍යය බිඳදැමීමට උත්සාහ දරමින් සිටියි. එහෙත් එවැනි ජාත්‍යන්තර බලවේග වලට පිළිතුරු ලබාදිය යුත්තේ, තවදුරටත් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම තුළිනි. අතිගරු ජනාධිපතිතුමා ඇතුළු සන්ධාන රජයේ මීළඟ ඉලක්කය වන්නේ දේශීය කර්මාන්තකරුවන් ජාත්‍යන්තරයට ඔසවා තැබීම බවද අමාත්‍යවරිය කියා සිටියාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය,”දේශපාලඥයො හැටියට අපි නිතරම හිතන්නේ රට ගැන. රටේ ජනතාව ගැන. රටේ ආර්ථිකය, ජනතාවගේ ආර්ථිකය  ඉහළට ගන්න අවශ්‍ය කටයුතු තමයි අපි කරන්නේ. ලෝකයේ දියුණුම රටවල ආර්ථික වර්ධන වේගය මේ වනවිට අඩුවෙමින් පවතිනවා. ඒ රටවල ආර්ථිකය අනපේක්ෂිත ආකාරයට සමහර අවස්ථාවල  කඩාවැටෙනවා. ලෝකයේ බලවතා ලෙස ඇමරිකාව හිටියත්, මේ වනවිට චීනය ඒ තත්වයට නැගිටිමින් සිටිනවා. 2040 වෙද්දි චීනය, ඇමරිකාව සිටින ස්ථානයට පැමි‍ණේවි. 2020 වෙද්දි ඉන්දියාව, දැන් චීනය සිටින තැනට පත්වේවි. ඒ ආකාරයට පසුගිය කාලයේදී මැලේසියාව, හොංකොං ආදි රටවල් නැගිට්ටා. ලෝකයේ බලවත් රටවල් දකිනවා. ඊළඟට නැගිටින රට ශ්‍රී ලංකාව බව.

අද ලංකාව මැදි ආදායම් ලබන රටක්. ඉස්සර අපේ ප්‍රදේශ වල හිටිය ඇස් ලොකුවුණ, බඩ ලොකුවුණ, කේඩෑරිවුණ, පොල් අතු පැලවල් වල ජීවත්වුණ මිනිසුන් අද එහෙම නැහැ. අද ගමේ පාරවල් කොන්ක්‍රීට් වෙලා. ගමයි නගරයයි යාකරන පාරවල් කාපට් වෙලා. ගමේ පාසලට කොම්පියුටර් ඇවිල්ලා. දෙමළ සිංහල භාෂාගාර ඇවිත්. ඉතාමත් ඌන තත්ත්වයක පැවතුන යටිතල පහසුකම් අද විශාල වශයෙන් සංවර්ධනය වෙලා. මහින්ද චින්තන ඉදිරි දැක්මත් සමඟ අපේ රට අද අපටම උරුමවූ ආර්ථික වැඩපිළිවෙලකට ගිහින්.

අතිගරු ජනාධිපතිතුමාගේ සිහිනය තමයි, දේශීය කර්මාන්ත ජාත්‍යන්තර මට්ටම දක්වා රැගෙනයාම. අපේ ආර්ථිකයේ ඊළඟ පිම්මත් ඒකම තමයි. රටේ පවතින සාම්ප්‍රදායික අපනයනයන් වෙනුවට නවීන තාක්ෂණික අපනයනයන් වලට යායුතුයි. ඒ අනුව අතිගරු ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු ඉටුවන බවක් පේනවා. රටක අපනයන ක්ෂේත්‍රය සංවර්ධනය වෙනවා කියන්නෙ , ඒ රට දිනනවා කියන එකයි. ලෙනින් වරක් කිව්වා, රුසියාවට සමාජවාදය ලැබෙනවා කියන්නේ විදුලිය දුන්නා වගේ කියලා. රටේ ජනතාව විදුලි ක්ෂේත්‍රෙය් නවීන තාක්ෂණයට අත තියනවා කියන එක, විශාල ජයග්‍රහණයක්. “ශ්‍රී ලංකාව තුළ තවදුරටත් පවතින, ගුණාත්මක තලයේ බලශක්ති හිඟයට සාර්ථකව විසඳුම් ක්‍රම හඳුන්වා දියයුතු කාල සීමාවක ඉකෝසෝල්ව් සමාගම පාරිභෝගිකයින් අතරට පැමිණ තිබෙනවා. එසේම LED ආලෝකන විසඳුම් සම්බන්ධව පර්යේෂණ හා සංවර්ධන අංශයක් සතු එකම ශ්‍රී ලාංකේය ආයතනය ලෙසද ඉකෝ සෝල්ව් පෙරමුණේ සිටීම සුවිශේෂත්වයකි.

අනෙක් ප්‍රධානතම කරුණ වන්නේ ඉකෝසෝල්ව් LED ආලෝකන විසඳුම් ක්‍රියාවලිය මගින් පරිසරයට මුදාහැරෙන්නට තිබූ අතිවිශාල කාබන් ප්‍රමාණයක් වළක්වා ගැනීමට හැකිවීමය. එය සැබවින්ම ජාතික කර්තව්‍යයක් ” යැයිද නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය වැඩිදුරටත් කීය. Eco Solve (ඉකෝ සෝල්ව්) සමාගමේ, නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම්, එම්.එම්. සී. ප්‍රදිනාන්දු, විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.බී. ගනේගල, සාමාන්‍යාධිකාරි ශවිද්‍රනාත් ප්‍රනාන්දු, විදුලිබල අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උපාලි දරණගම, ඉකෝ ස්ලෝව් ආයතනයේ සභාපති ඉන්දික නෙත්තසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ