අඩු ආදායම්ලාභී ග්‍රාමීය නිවාස හිමියන් සඳහා  විදුලිය සම්බන්ධතා ලබාදීමේ සහන ණය යෝජනා ක්‍රමය ඇරඹේ.
30 0

Posted by  in Latest News

අඩුආදායම්ලාභී ග්‍රාමීය නිවාස හිමියන් සඳහා විදුලිය සම්බන්ධතා ලබාදීමේ සහන ණය යෝජනා ක්‍රමය, විදුලිබල හා බලශක්ති අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනියගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ ආරම්භ විය. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති මෙම සමාරම්භක අවස්ථාවේදී, අඩුආදායම්ලාභී නිවාස හිමියන් 20 දෙනෙකුට, විදුලිබල හා බලශක්ති අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය විසින් සකේතාත්මකව සහන ණය සහතිකපත් ප්‍රදානය කරන ලදී.

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර මත, ලංකා විදුලිබල මණ්ඩලය මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලැබේ. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුව, ඇමරිකානු ඩොලර් මිලියන 3.5ක තීරු බදු රහිත අනුග්‍රහයක් දැක්වීමට ඉදිරිපත්ව සිටී.

හම්බන්තොට, අම්පාර හා රත්නපුර දිස්ත්‍රික්කවල විදුලිය නොමැති අඩු ආදායම්ලාභී ග්‍රාමීය පවුල් සඳහා ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක වේ. මේ යටතේ එක් පවුලක් සඳහා රු.40,000.00 ක උපරිමයකට යටත්ව, ණය මුදල පිරිනැමෙන අතර එය වසර 6 ක් ඇතුලත කොටස් වශයෙන් ගෙවා නිමකිරීමට අවස්ථාව හිමිවේ. නිවසකට විදුලිය ලබාගැනීම සහ නිවාස අභ්‍යන්තරයේ විදුලි පරිපථ සැකසීම (වයරින් කිරීම) වෙනුවෙන් මෙම ණය මුදල සැපයේ. මෙම සහන ණය යෝජනා ක්‍රමය යටතේ දිවයිනේ අඩුආදායම්ලාභී නිවාස හිමියන් 47,000 කට පමණ ණය ලබාදීමට අපේක්ෂිතය.
සමාරම්භන අවස්ථාව අමතමින්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය කියාසිටියේ, මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රකාරව යමින්, 2014 වසර ඇතුලත දිවයිනේ සියලු නිවාස ආවරණය වන පරිදි විදුලිය ලබාදීමේ වගකීම සඳහා ප්‍රගතිශීලී පියවරක් වශයෙන්, මෙම සහන ණය යෝජනා ක්‍රමය ආරම්භ කළ බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය……………….

“ජන මූලයන්ගෙන් බිහිවුණ, ජනමූල නායකයෙක් යටතේ ක්‍රියාත්මක වන අපි, එතුමාගේ ප්‍රතිපත්ති අනුව වඩාත් ජනතාවාදී පියවරක් තබන්න අද සමත් වුණා. අතීතයේදී රටේ සෑම නිවසකටම විදුලිය දෙන්න රජය ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගත්තත්, නිවස ඉදිරියට විදුලිය ගෙනියන්න, කණු දාන්නත් ජනතාවට මුදල් වැය කරන්න සිදුවුණා. අඩුආදායම්ලාභී නිවාස හිමියන්ට මේ තත්ත්වය මහත් ගැටළුවක්. ගමට විදුලිය ගියාට, ගමේ සෑම නිවසකටම විදුලිය ගන්න හැකියාවක් නැහැ. නිවස ඉදිරියට විදුලිය ආවත්, නිවසට විදුලිය ගන්න මූල්‍ය ප්‍රතිපාදන නැත්නම්, ඒ වගේම තමන්ගේ නිවස වයරින් කරගන්න මුදල් නැත්නම්, ජනතාවට විදුලිය ලබාගන්න අපහසු වෙනවා. අන්න ඒ අපහසුතාව මගහරවන්න තමයි, මෙම ණය යෝජනා ක්‍රමය දියත් කරන්නේ.

මේ වසර අවසන් වනවිට ලංකාවේ විදුලියනය 100% ක් කරන්න කියලා අතිගරු ජනාධිපතිතුමා මට දුන්න අභියෝගය ජයගන්න මෙම ණය යෝජනා ක්‍රමය මහා ශක්තියක්. මේ වගේ ප්‍රගතිශීලී පියවරක්, ආසියානු කලාපයේ වෙනත් රටවල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉන්දියාව, චීනය වගේ රටවලත් විදුලියනය 100 % ක් වෙලා නැහැ. සංවර්ධිත මට්ටමට පැමිණි රටවලත් විදුලියනය 100 % ක් නැති වුණත්, මේ වනවිට අපේ රටේ විදුලියනය 96% ක් වෙලා තියෙනවා. ලංකාවේ විදුලියනය මේ වගේ සංවර්ධිත මට්ටමකට ගන්න ඇපකැප වෙලා වැඩකරපු ලංවිම සියලුම නිලධාරීන්ට අපි ස්තුතිවන්ත වියයුතුයි. ඒ නිලධාරීන්ගෙන් මම ඉල්ලා සිටිනවා, සෑම නිවසකටම විදුලිය ලබාදීමේ ජනාධිපතිතුමාගේ ඉලක්කය කරා යන්න, ඉදිරියටත් මේ වගේ කැපවෙලා කටයුතු කරන්න කියලා” යැයිද අමාත්‍යවරිය පැවසීය.

මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.සී. ප්‍රදිනාන්දු, අමාත්‍ය පෞද්ගලික ලේකම්, සබරගමුව පළාත්සභාවේ සභාපති කංචන ජයරත්න, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.බී.ගනේගල, සාමාන්‍යාධිකාරි ශවින්ද්‍රනාත් ප්‍රනාන්දු යන මහත්වරු සහ විදුලිබල අමාත්‍යාංශයේ, විදුලිබල මණ්ඩලයේ, ආසියානු සංවර්ධන බැංකුවේ, ජ්‍යේෂ්ඨ නිලධාරීන්ද සහභාගී වූහ.