යුද්ධය හේතුවෙන්, විදුලිබල ක්ෂේත්‍රයේ නව ව්‍යාපෘති ඇරඹීමට නොහැකි වීම නිසා, විකල්ප බලශක්තිය වෙනුවෙන් රජයට විශාල වියදමක් දරන්න සිදුවුණා
12 0

Posted by  in Latest News

දශක තුනක් පුරා පැවති යුද්ධය හේතුවෙන්, දීර්ඝ කාලයකට පෙර සැලසුම් කරන ලද  බලශක්ති ව්‍යාපෘතීන්  මෙන්ම, ලාභදායි හා පරිසර හිතකාමී ජලවිදුලි ව්‍යාපෘති පවා ක්‍රියාත්මක තලයට ගෙනඒමට නොහැකි වීමෙන්, රජයට විකල්ප බලශක්ති ප්‍රභවයන් සඳහා අතිවිශාල මුදල් සම්භාරයක් වැය කිරීමට සිදුවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය ප්‍රකාශ කරයි.

එවැනි තත්ත්වයක් තුළ පසුගාමීව පැවති මෙරට  බලශක්ති ප්‍රවර්ධනය යළි සක්‍රීය තලයකට රැගෙන ඒමට හැකිවීම රටක් වශයෙන් අප ලැබූ සුවිශාල ජයග්‍රහණයක් බවද අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය. දීර්ඝ කාලයකට පෙර සැලසුම් කරන ලද බලශක්ති ව්‍යාපෘති, යුද්ධය හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකිවූ අතර අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, යුද්ධය අවසන් නොකරන්නට අප තවමත් නව බලශක්ති ව්‍යාපෘති පිළිබඳව සිහිනය දකින්නන් පමණක් වන්නට ඉඩතිබූ බවද එතුමිය කියා සිටියාය.

අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය මේ බව ප්‍රකාශ කළේ, හයිඩ්‍රෝ ඒෂියා 2014 ජාත්‍යන්තර සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. ‍කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වූ මෙම සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූයේ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය සහ ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය,ආචාර්ය සරත් අමුණුගම මැතිතුමාය.

ජල විදුලි ක්ෂේත්‍රයේ ප්‍රමුඛ රාජ්‍යයක් ලෙස ශ්‍රීලංකාවට මෙම සම්මන්ත්‍රණයේදී සෙසු රාජ්‍යයන් සමග ජල විදුලි ක්ෂේත්‍රයේ වැදගත්කම, නවීන තාක්ෂණික ක්‍රමවේදයන් යොදා ගැනීම මෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා ගතයුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳ දැනුම හුවමාරු කරගැනී‍මේ අවස්ථාව උදාවේ. මෙම සම්මන්ත්‍රණයට සමගාමීව ජලවිදුලි ක්ෂේත්‍රයේ උපකරණ සහ මෙවලම් දැක්වෙන ප්‍රදර්ශනයක්ද පැවැත්වෙන අතර මේ සඳහා සහභාගී වන ජාත්‍යන්තර නියෝජිතයන් ඉදිරි දින කිහිපය තුළ මෙරට ප්‍රධාන පෙලේ ජලවිදුලි බලාගාර නිරීක්ෂණයකට සහභාගී වීමටද නියමිතය.

සමාරම්භක උත්සවය ඇමතූ අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය………..

“මුළු ශ්‍රී ලංකාවම කුරිරු ත්‍රස්තවාදයෙන් වැසී ගිය වසර 30 ක අඳුරු කාලපරිච්ඡේදයක් අවසන් කර, අනාගත බලාපොරොත්තු සහිත යුගයක, අප මේ මොහොතේ ගතකරමින් සිටින බව ඔබ හොඳින් දන්නා කරුණක්. දශක 03 ක් පුරා මේ රටේ පැවති අඳුරු කාලපරිච්ඡේදය තුළ රටේ සංවර්ධන කාර්යයන් සියල්ලම පාහේ ඇණහිට තිබුණා. බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතුද මුළුමනින්ම පාහේ නතරවී තිබුණා. මේ හේතුවෙන් ශ්‍රී ලංකා රජයට විකල්ප බලශක්ති ප්‍රභවයන් සඳහා අති විශාල මුදල් සම්භාරයක් වැය කිරීමට සිදුවුණා. එම දුෂ්කර කාලපරිච්ඡේදය නිමා කරමින් වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වය යටතේ මහා පරිමාණ ව්‍යාපෘති රැසක් දියත් කරමින් රටට අහිමි වූ සංවර්ධනය නැවත ලබාදී රට පෙරටම ගමන් කරවීමට හැකිවී තිබෙනවා. අද වනවිට යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ දැවැන්ත ව්‍යාපෘති රැසක් මෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ ව්‍යාපෘති රැසක්ද රට පුරා ක්‍රියාත්මක කරනු ලබනවා.

අද දින ආරම්භ වූ මෙම සමුළුව පවත්වනු ලබන්නේත් සම්භාවනීය ඔබ සැම අප රටට පැමිණ ඊට සහභාගී වන්නේත් එවැනි වැදගත් කාල වකවානුවක බව මම ඉතා සතුටින් සඳහන් කරනවා. එමෙන්ම ඔබ සැම ඒ පිළිබඳව සාක්ෂි දරනු ඇතැයිද මා විශ්වාස කරනවා. රටේ ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී බලශක්ති ක්ෂේත්‍රය ඉතා වැදගත් කාර්යයක් ඉටු කරන බව රජය විශ්වාස කරනවා. එනිසා වසර 2015 වනවිට රට පුරා 100 % ක විදුලි සැපයුමක් සඳහා වන බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් රජය ඉතා ඉහල ප්‍රමුඛතාවයක් ලබාදෙනු ලබනවා. වර්තමානය වනවිට විදෙස් ණය සපයන ආයතන වල සහයෝගයෙක් ජනන සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් අංශ වල ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරමින් පවතිනවා.

දශක 03 කට පසුව වර්තමානය වනවිට රටම උතුරේ සිට දකුණට දිවෙන එකම විදුලිබල ජාලයකට සම්බන්ධකර මුළු රටටම විදුලිය සැපයීමට හැකිවි තිබෙනවා. දශක 03 ක් පුරා පැවති ත්‍රස්තවාදී  කටයුතු හේතුවෙන් විනාශයට ලක්වී තිබුණු උතුරු ප්‍රදේශයේ බෙදාහැරීම් ජාලය එම අඳුරු යුගය නිමා කර ඉතා කෙටි කලකින්ම රටේ ප්‍රධාන විදුලි ජාලයට එක් කිරීමට හැකියාව ලැබුණා.

ජනන අංශයේ තාප බලාගාර ඉදිකිරීමට අමතරව ඉතිරි වී ඇති සියලු ජලවිදුලි ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා පියවර ගනු ලැබුවා. උදාහරණයක් වශයෙන් මෙගාවොට් 120 උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් කර ඇති අතර මෙගාවොට් 35 ක බ්‍රෝඩ්ලන්ඩ්ස් ව්‍යාපෘතියේ ඉදිකිරීම් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. මෙගාවොට් 30මොරගොල්ල ව්‍යාපෘතියේ ඉදිකිරීම්ද ඉදිරි මාස කිහිපයේදී ආරම්භ කිරීමට යෝජිත අතර මෙගාවොට් 32 ගිං ගඟ ව්‍යාපෘතිය සැලසුම් අවදියේ පවතිනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පොම්ප සංචිත ජලවිදුලි විභවයන් සඳහා ශක්‍යතා අධ්‍යයනයන්ද සිදුකරමින් පවතිනවා. අනාගතයේදී විදුලිබල පද්ධතියේ කාර්යක්ෂම ක්‍රියාකාරීත්වය සඳහා මෙම පොම්ප සංචිත ජලවිදුලි බලාගාර ඉදිකිරීම අත්‍යාවශ්‍ය බව මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. තවද කුඩා ජලවිදුලි බලාගාර ඉදිකිරීම් ව්‍යාපෘති වලද සැලකියයුතු වර්ධනයක් සිදුවී තිබෙනවා. මෙම කුඩා ජලවිදුලි බලාගාර වැඩි වශයෙන් ක්‍රියාත්මක කරනු ලබන්නේ පෞද්ගලික අංශය මගින් දැනට මෙගාවොට් 275 ක ධාරිතාවයක් මෙම කුඩා ජලවිදුලි ව්‍යාපෘති මගින් නිපදවනු ලබනවා. අපගේ කුඩා ජලවිදුලි ඉදිකිරීම් ආකෘතිය UNIDO වැනි ආයතන මගින් පිළිගෙන ඇති අතර අප කලාපයේ සංවර්ධනය වෙමින් පවතින රටවල හා අප්‍රිකානු රටවල් කිහිපයක ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ කර තිබෙනවා. එමෙන්ම සුළං බලය වැනි අනෙකුත් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයන්හිද විශේෂයෙන් පෞද්ගලික  අංශයේ සහභාගිත්වය මත සැලකියයුතු වර්ධනයක් සිදුවෙමින් පවතිනවා.

මෙවැනි පසුබිමක් තුළ රටේ විදුලිබල ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම ජලවිදුලි ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු සිදුවන වකවානුවක මෙම සමුළුව මෙරටදී පැවැත්වීම මෙරටට ඉතා වැදගත් සලකුණක් වනු ඇති බව මා විශ්වාස කරනවා.

අවසාන වශයෙන් මෙම වැදගත් අවස්ථාව සඳහා ශ්‍රී ලංකාව තෝරාගැනීම පිළිබඳව මෙම සමුළුවේ සංවිධායකවරුන්හට මාගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. කොළඹදී පැවැත්වෙන මෙම සමුළුව සඳහා සහභාගී වීමට ලෝකයේ විවිධ රටවලින් පැමිණි ඔබ සැමට ස්තුතිය ප්‍රකාශ කරන අතර සමුළුව සාර්ථක වේවා යැයිද ප්‍රාර්ථනා කර සිටිනවා” යැයි පැවසීය.  

මෙම අවස්ථාවට හයිඩ්‍රෝ ඒෂියා 2014 ජාත්‍යන්තර සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනයේ අධ්‍යක්ෂිකා Alison Bartle මහත්මිය, ලංකා විදුලිබල මණ්ඩලයේ හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම රටවල් 45 කට අයත් ජලවිදුලි ක්ෂේත්‍රයේ විද්වතුන් 600 ක් පමණ පිරිසක් සහභාගී වී සිටියහ.