කොටි ත්‍රස්තවාදයෙන් රට නිදහස් කළ නායකයෙකුගේ සෙවන යටතේ, රටේ අනාගත අභියෝග ජයගැනීම සඳහා රාජ්‍ය සේවය සතු වගකීම ඉතා ප්‍රභල එකක්.
01 0

Posted by  in Latest News

කොටි ත්‍රස්තවාදයෙන් රට නිදහස් කළ නායකයෙකුගේ සෙවන යටතේ,රටේ අනාගත අභියෝග ජයගැනීම සඳහා රාජ්‍ය සේවය සතු වගකීම ඉතා ප්‍රභල එකක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය අවධාරණය කරයි.

අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජීවිතය පරදුවට තබා,කුරිරු ත්‍රස්තවාදයෙන් බේරාගත් රට, ඉදිරියට ගෙනයාමේදී අප සියලු දෙනාටද ජාතික වගකීමක් පැවරී ඇති බවයි.

2014 නව වසරේ  විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිල රාජකාරි ඇරඹීම සඳහා (2014/01/01 )අද පෙරවරුවේ පැවති උත්සව අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය මේ බව සඳහන් කළාය.අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් නායකත්වයට පත් 2005 වසරේ සිට රාජ්‍ය සේවාව තුළ පැහැදිළි වෙනසක් පවතින බවත්, එය පැහැබර අනාගතයක පළමු පියවරවූ  බවත් අමාත්‍යවරිය පැවසුවාය.

ජාතික ධජය ඔසවා, ජාතික ගීය ගායනාකර ජාතියට උත්තමාචාර දැක්වූ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය, ප්‍රමුඛව අමාත්‍යාංශ නිලධාරීන් දේශය ආරක්ෂා කරගැනීම සඳහා දිවිහිමියෙන් ක්‍රියාකළ රණවිරුවන් සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්ද ආරක්ෂා ක‍ලහ.ඉන් අනතුරුව සියලුදෙනා රාජ්‍ය සේවා ප්‍රතිඥාව දුන්හ.

උත්සව සභාව ඇමතූ අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය……..

“අපි හැමෝම මහජන සේවකයෝ හැටියට, රටේ සංවර්ධන කාර්යය පිළිබඳව විශාල වගකීමකට උරදීලා තියෙනවා. මහජන සේවකයෝ කිව්වම මට මතක් වෙන්නේ,අපේ තාත්තා ඒ දවස්වල ලියුම්වල අග අත්සන් කරද්දි ලියපු හැටි.තාත්තා ලියුම් අවසන් ‍කළේ, මෙයට ඔබේ මහජන සේවක ධර්මදාස වන්නිආරච්චි කියලා. එදා මැතිඇමතිවරුන්ගේ ඉඳලා සෑම රාජ්‍ය සේවකයෙකුගේම ඔළුවේ තිබුනේ අපි මහජන සේවයට කැපවූ පිරිසක් කියලා. නමුත් මීට දශක ගනනාවකට පෙර තිබුන ඒ සංකල්පය ටිකෙන් ටික වෙනස්කම් වලට පරිවර්තනය වුණා. හැබැයි නැවතත් අපේ අතිගරු ජනාධිපතිතුමා ඒ තත්ත්වය වෙනස් කරලා, පෙර පැවති තත්ත්වයටම පත් කරන්න පියවර අරන් තියෙන්නේ. ඒ එතුමා ජන මූලයන්ගෙන් නැගිට්ට නායකයෙක් විදිහට,රටේ සමස්ත ජනතාවට පියෙක් වගේ ආදරෙන් ඉන්න නායකයෙක් නිසායි.තව වසර කිහිපයක් යද්දි අප රටේ විශාල පරිවර්තනයක් දකින්න පුළුවන්වෙයි.මෙම පරිවර්තනය,රටේ සංවර්ධනාත්මක පැත්තට යන එකක්.ඒ සංවර්ධනයට විදුලිබල ක්ශේත්‍රයෙන් ලැබෙන්නේ විශාල දායකත්වයක්. රටේ දියුණුව තියෙන්නේ විදුලිබල ක්ශේත්‍රයට සමගාමීව නම්, ඒ වගකීම ඉෂ්ඨ කරන්න අපි බැඳිලා ඉන්නවා. ඒ අනුව මේ ක්ෂේත්‍රයේ සේවය කරන්නන් වශයෙන් රට ගැන හිතලා, රට වෙනුවෙන් අපේ යුතුකම ඉටුකළ යුතුයි. අපේ යුතුකම, වගකීම, වගකීමක් ලෙස හිතට ගන්න ඕන.අපි, අභියෝග බාරගන්න පුළුවන් චරිත බවට පත් වෙන්න ඕන. එතකොට තමයි  අපේ ජීවිත වලට වටිනාකමක් ලැබෙන්නේ.

රටේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයද්දි,ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න රාජ්‍ය අංශයෙන් ලැබෙන දායකත්වය අගයකළ යුතුයි.විදුලිබල අමාත්‍යාංශය කියන්නේ වැඩත් එක්ක,වගකීම් එක්ක ඉදිරියට යන අමාත්‍යාංශයක්.ඒ අනුව අපට බාරදෙන සියලු වැඩ, වගකිම් සාර්ථකව ඉෂ්ට කරන්න අපි උත්සාහ ගතයුතුයි.”

අනතුරුව අමාත්‍යවරිය නව වසර නිමිත්තෙන් සියලු දෙනාට සුභාශිංසන එක්කළ අතර 2014 වසර මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ සංධිස්ථානයක් සනිටුහන් කරන වසරක් බවද කීවාය. මේ වසර අවසන් වීමට ප්‍රථම විදුලිය නොමැති දිවයිනේ සියලු නිවාස සඳහා විදුලිය ලබාදීමේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ  අපේක්ෂාව යථාර්ථයක් බවට පත්කිරීමේ වගකීම තමා ඇතුලු අමාත්‍යාංශයේ සියලු නිලධාරීන්ට පැවරෙන බවද, අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියාය.  

මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් එම්.එම්.සී.ප්‍රදිනාන්දු මහතා සහ අමාත්‍යාංශ අතිරේක ලේකම්වරු ඇතුලු ජ්‍යේෂ්ඨ නිලධාරීන් මෙන්ම සේවක සේවිකාවන් සහභාගීවී සිටියහ.