ප්‍රභාකරන් ඉදිරියේ දණගැසූ නායකයින්ට රටේ අනාගත විදුලි ජනන සැලැස්මක් නිර්මාණය කිරීමට, උනන්දුවක් හෝ හැකියාවක් තිබුනේ නැහැ …..
17 0

Posted by  in Latest News

ප්‍රභාකරන් ඉදිරියේ දණගැසූ නායකයින්ට රටේ අනාගත විදුලි ජනන සැලැස්මක් නිර්මාණය කිරීමට,උනන්දුවක් හෝ හැකියාවක් නොතිබුන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය ප්‍රකාශ කරයි.

අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ, නිවැරදි ජනන සැලැස්මක් යටතේ විදුලි ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීන්දුව හේතුවෙන්, අනාගත විදුලිබල ක්ෂේත්‍රය ශක්තිමත් වී ඇති බවයි. අමාතය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය මේ බව කියා සිටියේ,අද පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති ලංකා විදුලිබල මණ්ඩලයේ 2013 ඵලදායිතා සහ නව්‍යකරණ තිළිණ ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිනි.

මෙවර ඵලදායිතා හා නව්‍යකරණ තිළිණ ප්‍රදානයේදී අංශ කිහිපයක් යටතේ තිළිණ ප්‍රදානය කෙරිනි. ඒ අනුව ඵලදායිතා හොඳම කාර්යාල ලෙස, කුරුවිට පාරිභෝගික සේවා මධ්‍යස්ථානය,වාරියපොල විදුලි ඉංජිනේරු කාර්යාලය,මාවනැල්ල ප්‍රාදේශීය කාර්යාලය,සබරගමුව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කාර්යාලය, උතුරු මැද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කාර්යාලය පළමු ස්ථානයට හිමි තිළිණ ලබාගන්නා ලදී.

2013 ඵලදායිතා හා නව්‍යකරණ ප්‍රදානයේ රන් සම්මානය හිමිකරගත්තේ, කැළණිතිස්ස බලාගාරයේ පරිගණක පද්ධතිය යළි සකස් කිරීම සඳහා ගන්නා ලද සුවිශේෂී උත්සාහය වෙනුවෙනි.

තිළිණ ප්‍රදානයේදී අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය, නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය සඳහන් කළේ, ප්‍රභාකරන් ඉදිරියේ දණ නොනැමූ නායකයෙකුගේ සෙවන යටතේ රටේ විදුලිබල ක්ෂේත්‍රයේ සැබෑ වෙනසක් සිදුවී ඇති බවයි.මෙතෙක් බලයට පත්වූ නායකයින්ට ආරම්භ කිරීමට නොහැකිවූ විශාල විදුලි ව්‍යාපෘති රැසක් ඇරඹීමට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට හැකිවූ බවද හෙතෙම සඳහන් කළාය.

නොරොච්චෝලේ දෙවන අදියරේ මෙගාවොට් 300ක් තව නොබෝ දිනකින් ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට හැකිවන බවද අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය වැඩිදුරටත් කියා සිටියාය.

මෙම අවස්ථාවට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.බී.ගනේගල,සාමාන්‍යාධිකාරි ශිවන්ද්‍රනාත් ප්‍රනාන්දු යන මහත්වරැ ඇතුළු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සහභාගී වී සිටියහ.