රටේ අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් මහජන නියෝජිතයින් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමේ වගකීම නිලධාරින්ට පැවරෙනවා…
04 0

Posted by  in Latest News

රටේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් මහජන නියෝජිතයින් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමේ වගකීම නිලධාරින්ට පැවරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය ප්‍රකාශ කරයි.

පහළ ‍ශ්‍රේණියේ සේවකයාගේ සිට ඉහළම තලයේ නිලධාරියා දක්වා මෙම වගකීම පැවරෙන බවද අමාත්‍යවරිය පෙන්වා දෙයි.රටේ අනාගතය වෙනුවෙන් නිවැරදි දිශානතිය පෙන්වීම ජනතා නියෝජිතයින්ගේ කාර්ය වන බවත්,ඊට අනුගතව රටේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ක්‍රියාකිරීම නිලධාරීන්ගේ වගකීම හා යුතුකම වන බවත් නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය කියා සිටියි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ 2013.11.01 දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති ලංකා විදුලිබල මණ්ඩලයේදීර්ඝ සේවා වාර්ෂික තිළිණ ප්‍රදානයට එක්වෙමිනි.ලංකා විදුලිබල මණ්ඩලයේ වසර 30 ක සේවය සම්පූර්ණ කළ,සේවක සේවිකාවන් සඳහා මෙම තිළිණ ප්‍රදානය පැවැත්විණි. මෙවර තිළිණ ප්‍රදානයේදී වසර 30 ක සේවා කාලය සම්පූර්ණ කළ සේවක සේවිකාවන් 292 ක් සඳහා සේවා ඇගයීම් තිළිණ ප්‍රදානය කෙරිණි.

මෙම උත්සව අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරිය කියාසිටියේ අඩු වියදමින් විදුලිය නිපදවිය හැකි බලාගාර ඉදිකිරීම සඳහාඅතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පූර්ණ මගපෙන්වීම මත රජය පුළුල් සැළැස්මක් ක්‍රියාත්මක කර ඇති බවයි.එම ක්‍රියාවලිය දැනටමත් අරඹා ඇති බවත්, බලශක්ති ක්ෂේත්‍රයේ සංධිස්ථානයක් සනිටුහන් කිරීම සදහා මෙම සැළැස්ම යෝධ ශක්තියක් වී ඇති බවත් අමාත්‍යවරිය කියා සිටියාය.

තිළිණ ප්‍රදානයට සහභාගි වෙමින් අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය වැඩිදුරටත් සඳහන් කළේ……

“ලංකා විදුලිබල මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය සඳහා සේවකයින් දක්වන කැප කිරීම රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලියට වඩාත් ශක්තියක් වෙලා තියෙනවා. දහසය දාහසක් (16000)වන ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක සේවිකාවන් රටට දැනෙන සේවාවක් සිදුකරන බව රහසක් නොවෙයි.ඇතැම් වගකිවයුත්තන්ගේ, වගකීම් විරහිත ප්‍රකාශ හේතුවෙන් ආයතනය කෙරෙහි අපකීර්තියක් ඇති වූ අවස්ථා ඉතිහාසයේ තිබුණා.

විදුලිබල මණ්ඩලයේ සේවකයින්,විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා පහළ සේවකයාගේ සිට ඉහළම පාලනාධිකාරිය දක්වා සිදුකරන කැප කිරීම සුළුපටු එකක් නොවෙයි. අපට මතකයි පසුගිය යුද සමයේදී අපේ ජලාශ,විදුලිබලාගාර,ට්‍රාන්ස්ෆෝමර් ආරක්ෂක හමුදාව යොදවලා ආරක්ෂා කරන්න වන තරමටම අපේ රට අනාරක්ෂිත වූ යුගයක් තිබුණා.අද ඒ සියල්ල අවසන් වෙලා,ජීවිතය පිළිබඳව අපේක්ෂා දල්වන්න පුළුවන් යහපත් පරිසරයක් නිර්මාණය වෙලා තියනවා. අද අපට ජලාශ, විදුලිබලාගාර, ට්‍රාන්ස්ෆෝමර් ආරක්ෂා කරන්න ආරක්ෂක හමුදාව යොදන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට අලුත් විදුලිබලාගාරයක් හදන්න, අලුතින් විදුලි රැහැන් අදින්න, අලුතින් ට්‍රාන්ස්ෆෝමර් යොදවන්න ප්‍රළුවන්.

එදා අලුතින් විදුලි බලාගාර හදන්න,විදුලි රැහැන් අදින්න පුළුවන්කමක් තිබුණේ නැහැ.යුද්ධය අවසන් වීමෙන් පසුව උතුරේ ජනතාවට දකුණේ විදුලිබලය ලබාදෙන්න ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විශාල කැප කිරීමක් කළා.චුන්නාකම් විදුලි උපපොළ හරහා යාපනය අර්ධද්වීපයට විදුලිය ලබාදීමේදී අපේ සේවකයින් ජීවිත අවදානම නොතකා ක්‍රියා කළා. වව්නියාවේ සිට කිලිනොච්චියටත්, කිලිනොච්චියේ සිට චුන්නාකම් දක්වාත් අධිබලැති විදුලි රැහැන් පද්ධතිය ඉදිකරන විට බිම්බෝම්බ ඉවත් කරමින්,වතුරටික නැතිව,කෑම ටික නැතිව අපේ නිලධාරීන්,සේවක සේවිකාවන් මහත් පරිශ්‍රමයකින් යුතුවක්‍රියා කළා.අපි උතුරට ගියාම උතුරේ ජනතාව දකුණේ විදුලිය දෙන්න කියලා ඉල්ලා සිටියා.ඒ වගේම අපි එම ඉල්ලීම උතුරේ ජනතාව වෙනුවෙන් ඉටු කළා.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂමැතිතුමාගේ අපේක්ෂාව වන්නේ 2014වසර ඇතුළත දිවයිනේ සියලුම නිවාස සඳහා විදුලිය ලබාදීමයි.රටේ දැනටමත් 94% කට විදුලිබලය ඇති බවට අපට උදම් අනන්න පුළුවන්. ඒ සඳහා වන මහා කැප කිරීම කළේ ඔබයි. අතිගරු ජනාධිපතිතුමාගේත් බැසිල් රාජපක්ෂ මැතිතුමාගේත් උපදෙස් මත බ්‍රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතිය ආරම්භ කරන්න අපට පුළුවන්කම ලැබුණා. ජල විදුලි ව්‍යාපෘතියක් ආරම්භ කිරීම තුළින් අඩු මිලට විදුලිය බලය ලබාදීමට පුළුවන්කම ලැබෙනවා. මේ වන විට සාම්පූර් ගල් අඟරු විදුලි බලාගාරය ඉදිකිරීම සදහා ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කිරීමට හැකි වුණා.අනාගතයේදී ලංකාවේ විදුලිබල අවශ්‍යතාවය පිරිමසා ගැනීමට මනා රුකුලක් මේ නිසා ලැබෙනවා.ඔබ මේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක නිරත වෙලා තිබෙනවා. එය අගය කිරීමටද මම මෙය අවස්ථාවක් කර ගන්නවා.” යැයිද අමාත්‍යවරිය පැවසුවාය.

මෙම අවස්ථාවට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.බී.ගනේගල,අමාත්‍ය පෞද්ගලික ලේකම් කංචන ජයරත්න, සාමාන්‍යාධිකාරි ශවී ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හා සේවක සේවිකාවෝ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.