සාම්පූර් සහ නොරොච්චෝල දෙවැනි හා තෙවැනි අදියර ක්‍රියාත්මක තලයට පැමිණීමත් සමඟ විදුලි උත්පාදනය සඳහා රජය දැනට වැය කරන සමස්ත වියදම සැළකිය යුතු ලෙස අවම කර ගැනීමට හැකිවනවා…
21 0

Posted by  in Latest News

සාම්පූර් සහ නොරොච්චෝල දෙවැනි හා තෙවැනි අදියර ක්‍රියාත්මක තලයට පැමිණීමත් සමඟ විදුලි උත්පාදනය සඳහා රජය දැනට වැය කරන සමස්ත වියදම සැළකිය යුතු ලෙස අවම කර ගැනීමට හැකිවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය ප්‍රකාශ කරයි.

අමත්‍යවරිය පෙන්වා දෙන්නේ ඉකුත් වසරේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 70 % ක් ඉන්ධන බලාගාර මඟින් නිපදවා ඇති හෙයින් , ඒ සඳහා විශාල වියදමක් දැරීමට සිදුවන බවයි. එහෙත්, සාම්පූර් හා නොරොච්චෝල දෙවන හා තුන්වන අදියරයන් මඟින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 1100 ක් සම්බන්ධ කිරීමත් සමඟ ඉන්ධන මඟින් විදුලිය නිෂ්පාදනය සඳහා වැය කරන මුදල සැළකිය යුතු ප්‍රතිශතයකින් ඉතිරි කර ගත හැකි බවත් එහි ප්‍රතිලාභ ඍජුවම විදුලි පාරිභෝගිකයින්ට ලබාදීම රජයේ ප්‍රමුඛ අභිලාශය බවත් අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය පෙන්වා දෙයි.

අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය මේ බව ප්‍රකාශ කළේ, 2013.10.18 දින රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න මැතිවරණ කොට්ඨාශයේ නව විදුලි ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත්කිරීමේ උත්සව අවස්ථාවන්ට එක්වෙමිනි.නුංගහයාය ගුරුමඩ මාවත,ඕමල්පේ මැදවතුගොඩ,ගල්කන්දගොඩ,විජේරිය උඩගම,නන්දනගම ගිනිගල්ගොඩ අතිදුෂ්ක ප්‍රදේශවල පවුල් 500 කට පමණ මෙමගින් විදුලිය සැපයේ.ඉරාන RE – 8 ආධාර ව්‍යාපෘතිය යටතේ මේ සදහා රජය වැයකළ මුදල රු.ලක්ෂ 400කි.

විදුලි ව්‍යාපෘති ජනතා අයිතියට පත්කිරී‍මෙන් පසු පැවති ජනහමු වලදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය……………

“අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති වන තුරු නව විදුලි ව්‍යාපෘති ඇරඹීමට නිසි ක්‍රමවේදයක් තිබුණේ නැහැ.අතිගරු ජනාධිපතිතුමා 2005 වර්ෂයේදී ඉන්දියාවේ සිදුකළ නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස සාම්පූර් ගල්අගුරු විදුලිබලාගාරය ඇරඹීමට හැකිවුණා.එය ක්‍රියාත්මක කිරීම විවිධ හේතූන් නිසා ප්‍රමාදවී තිබුණත්,අතිගරු ජනාධිපතිතුමාගේ මෙහෙයවීම මත,ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ සම්බන්ධීකරණයෙන් එම බලාගාරය ඉදිකිරීමේ ගිවිසුමට එළඹීමට හැකිවුණා.

ලංකා‍‍වේ විදුලිය හරි ගණන්.ගල්අගුරු ඉතාම අඩු මිලට විදුලිය නිපදවන්න පුළුවන් ප්‍රභේදයක්. ඔබ දන්නවා ගිය අවුරුද්දේ මේ රටට අවශ්‍ය විදුලියෙන් සියයට හැත්තෑවක් නිපදවුනේ තෙල් වලින්. තෙල් හරි ගනන්. ඩීසල්, දැවි තෙල් හැම දෙයක්ම ගණන්. ලොකු මිලක් යනවා විදුලි ඒකකයක් හදන්න. හැබැයි අපි නොරොච්චෝල බලාගාරයේ දෙවන අදියර මේ අවුරුද්දේ අග ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කරනවා.3 වන අදියර ලබන අවුරුද්දේ ක්‍රියාත්මක කරනවා.සාම්පූර් බලාගාරය හැදුවම,මේ සියල්ල එනකොට ලංකාවේ ජනතාවට සියයට සියයක් විදුලිය දෙන්න පුළුවන්.

ආසියානු කලාපයේ බොහෝ රටවල්වල ජනතාවට 50% කටවත් තවම විදුලිය නැහැ.ලංකාවේ විදුලිය ලබාදීම ආරම්භ කළේ 1960 ගණන්වල. ඔබට විදුලිය ලබා දෙන්න මේ ජනාධිපතිතුමාම බලයට පත්වන්න සිද්ධ වුණා.ජනාධිපතිතුමාගේ මැදමුලන ගෙදර පෙට්ට්‍රල් මැක්ස් එකේ එළියෙන් බැසිල් මැතිතුමාලා,ගෝඨාභය මැතිතුමාලා සමඟපාඩම් කරපු හැටි තාමත් මට මතක බව, එතුමා අප සමඟ කියල තියනවා. ගමේ මනුස්සයෙක් රටේ ඉහල තැනකට ගියාම ගමේ මිනිස්සුන්ගේ අමාරුකම් තේරෙනවා. ඒ නිසා එතුමා විදුලිය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තියෙනවා,2014 වන විට ලංකාවේ සියලුම නිවාස වලට අඛණ්ඩ විදුලිබලය ලබාදෙන්න.මේ මඟින් දරුවන්ගේ අධ්‍යාපනය දියුණුවෙයි කියලා අප බලාපොරොත්තු වෙනවා.දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට මේ විදුලිබලය ලබාදීම පහසුවක් වුණොත්, අම්මා කෙනෙක් ලෙස මම සතුටු වෙනවා.” යැයිද අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය ප්‍රකාශ කළාය.

කොළොන්න මැතිවරණ කොට්ඨාශයේ විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික්පාර්ලිමේන්තු මන්ත්‍රි සනී රෝහණ කොඩිතුවක්කු,සබරගමු පළාත්සභාවේ සභාපති කංචන ජයරත්න,කොළොන්න ප්‍රාදේශීය සභා සභාපති දයා පතිරණ,ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉදුනිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ