ශ්‍රී ලංකාවේ නිෂ්පාදන, අපනයන කර්මාන්තය ශක්තිමත් කිරීමට සහ ආයෝජන අවස්ථා පුළුල් කිරීමට රුසියාවේ සහාය…
15 0

Posted by  in Latest News

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අපනයන කර්මාන්තය ශක්තිමත් කිරීමට සහාය පළ කරන බව රුසියාව අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් කර්චාවා (His Excellency Mr. Alexander Karchava) මහතා 2013.10.10 වන දින සන්ධ්‍යාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය. මෙම හමුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙරට ආයෝජන අවස්ථා පුළුල් කිරීමටද රුසියාව සූදානම් බව තානාපතිවරයා මෙම හමුවේදී කීය.

ශ්‍රී ලංකාවත් රුසියාවත් අතර අන් කවරදාටත් වඩා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් වී ඇති බවත්, එය ඉතා සුවිශේෂී තත්වයක් බවත්, රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් කර්චාවා මහතා සඳහන් කළේය.

මෙම හමුවේදී අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය සඳහන් කළේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ නිවැරදි විදේශ ප්‍රතිපත්තිය නිසා, රුසියාව හා ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක සිට පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් වී ඇති බවයි. යුද්ධය නිමා වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව තුළ කඩිනම් සංවර්ධනයක් සිදුවෙමින් පවතින බවත්, ඒ සඳහා රුසියාව ලබාදෙන සහාය අගය කරන බවත් නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය ප්‍රකාශ කළාය. බෞද්ධාලෝක මාවතේ ඉදිවෙමින් පවතින ශ්‍රී ලංකාවේ නව රුසියානු තානාපති කාර්යාලය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණ.
මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් ගුණවර්ධන මහතා ඇතුළු ඉහළ නිළධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.