ලංකා විදුලිබල මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරි ලෙස  ශවින්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා පත්වේ.
11 0

Posted by  in Latest News

ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි එස්. කේ. මොහිදීන් මහතා විශ්‍රාම යාමත් සමග ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි (ව්‍යාපෘති) ශවිද්‍රනාත් ප්‍රනාන්දු මහතා එම තනතුරට පත්විය.

මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන ශවින්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳව විශේෂඥයෙකි. ඔහු බැංකොක් හි පිහිටි ආසියානු තාක්ෂණික ආයතනය මගින් බලශක්ති තාක්ෂණය පිළිබඳව හැදෑරීය. ශවින්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා වරලත් ඉංජිනේරුවරයෙකු වන අතර ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ප්‍රමුඛ පෙළේ සාමාජිකයෙකි. මහා බි්‍රතාන්‍යයේ පිහිටි ඉංජිනේරු තාක්ෂණික ආයතනයේද ඔහු සාමාජිකත්වය දරයි.

1979 වසරේදී ශවීන්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා ලංකා විදුලිබල මණ්ඩලයට සම්බන්ධ විය. ඒ විදුලි ඉංජිනේරුවරයෙකු ලෙසය. කැලණිතිස්ස සහ සපුගස්කන්ද යන ඩීසල් විදුලි බලාගාරයන්හි සේවය කළ ශවින්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා, ග්‍රාමීය ප්‍රදේශ සඳහා විදුලිබලය ලබාදීම සඳහා විශේෂ ක්‍රමෝපායන් අධ්‍යයනය කර හඳුන්වාදෙමින් සුවිශේෂී මෙහෙයක් සිදුකළේය.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙකු ලෙස ඔහු ලංකා විදුලිබල මණ්ඩලයේ සැලසුම් අංශය හා සම්බන්ධ වුයේය. දීර්ඝකාලීන අනාගත සැලසුම් ව්‍යාපෘති ලංකා විදුලිබල මණ්ඩලයේ ආරම්භ කෙරුනේ, ශවින්ද්‍රනාත් ප්‍රනාන්දු මහතාගේ පූර්ණ මැදිහත්වීම මතය. මෙගාවොට් 150 ක ධාරිතාවයකින් යුත් ඉහළ කොත්මලේ විදුලිබලාගාර ව්‍යාපෘතිය මෙහෙයව්මේ අභියෝගය ඔහු භාරගත්තේය. පාරිසරික තත්ත්වයන්ට අනුකූලව 2012 වර්ෂයේදී එම ව්‍යාපෘතිය නිමකරමින් ජාතික විදුලිබල පද්ධතිය හා සම්බන්ධ කළේය.

2010 ඔක්තෝබර් මසදී ඔහු සිය සේවයෙන් උසස් වූයේ, අතිරේක සාමාන්‍යාධිකාරි (ව්‍යාපෘති ) ලෙසය. ශවින්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ වත්මන් සභාපතිවරයා වන අතර එහි දසදහසකට වැඩි සාමාජික සංඛ්‍යාවක් වර්ධනය කරගැනීමට ඔහුට හැකි විය. ඊට අමතරව ශ්‍රී ලංකා බලශක්ති කළමනාකරණ සංගමයේ පුරා වසර 02 ක් සභාපතීත්වය දැරීය. ලෝක බලශක්ති සංගමයේ සාමාජික කමිටුවේ ලේකම් ලෙසද ශවින්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා වර්තමානයේ කටයුතු කරයි.

බලශක්ති සැලසුම්, බලශක්ති කළමනාකරණය, බලශක්ති අර්බුදයන් පිළිබඳව මනා ලෙස අධ්‍යයනයන් හා පර්යේෂණය කළ ශවින්ද්‍රනාත් ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විදුලි ඉංජිනේරුවරයෙකි.