ශ්‍රී ලංකාවේ තාප විදුලි උත්පාදනයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් සාම්පූර් ගල් අඟුරු විදුලි බලාගාර ව්‍යාපෘතිය සඳහා  ගිවිසුම් අත්සන් තැබේ…
08 0

Posted by  in Latest News

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් යෝජිත ත්‍රිකුණාමලය සාම්පූර් ගල් අඟුරු විදුලි බලාගාර ව්‍යාපෘතිය සඳහා, දෙරට අතර ගිවිසුම් අත්සන් තැබීම ඊයේ(07) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයද, ඉන්දීය රජය වෙනුවෙන් ඉන්දීය “ජාතික තාපබල සංස්ථාව”ද ගිවිසුමට අත්සන් තැබීය. යෝජිත සාම්පූර් ගල් අඟුරු විදුලි බලාගාර ව්‍යාපෘතියට අදාළව අද දින ගිවිසුම් 05 කට එළඹෙන ලදී. ඒ අනුව,

Ø ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම. (Implementation Agreement)

Ø ආයෝජන ගිවිසුම. (BOI Agreement)

Ø ඉඩම් බදු ගිවිසුම. (Land Lease Agreement)

Ø බලශක්ති මිළදී ගැනීමේ ගිවිසුම. (Power Purchase Agreement )

Ø ගල් අඟුරු මිළදී ගැනීමේ ගිවිසුම. (Coal Supply Agreement)

යන ගිවිසුම් මීට අයත් විය.මෙහි ප්‍රධාන ගිවිසුම් අත්සන් තබනු ලැබුයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් එම්.එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.බී. ගනේගල මහතාය. ඉන්දීය රජය වෙනුවෙන් ඉන්දීය තාපබල සමාගමේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අරුප් රෝයි වෞද්‍ද්‍රි මහතා (Dr.Arup Roy Choudhury) සහ එම සමාගමේ අධ්‍යක්ෂ අයි.ජේ. කපූර් මහතාය. (I.J.Kapoor).

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පව්ත්‍රා වන්නිආරච්චි, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස්, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඉන්දීය විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඩ්, (Salman Khurshid) යන මැති ඇමතිවරු ඉදිරියේ ගිවිසුම් අත්සන් තබන ලදී. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න යන මහත්වරුන්ද සහභාගිවි සිටියහ.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 වසරේ ඉන්දියාවේ සිදුකළ නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ත්‍රිකුණාමලය සාම්පූර්හි ගල් අඟුරු විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා මූලික සාකච්ඡා පැවැත්විණි.

විවිධ තත්ත්වයන් යටතේ ප්‍රමාද වෙමින් පැවති සාම්පූර් ගල් අඟුරු විදුලි බලාගාර ව්‍යාපෘතිය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ පූර්ණ මඟ පෙන්වීම මත, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයවීමෙන්, කඩිනමින් ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය සියලු විධිවිධාන යෙදීම, වත්මන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනියගේ මැදිහත්වීම මත සිදුවීම විශේෂත්වයකි.ඉන්ධන වලින් විදුලිය නිෂ්පාදනය කිරීමට යන, වියදමට සාපේක්ෂව ඉතා අඩු වියදමකින් විදුලිය නිෂ්පාදනය කිරීමේ මාර්ගයක් ලෙස, ගල් අඟුරු විදුලි බලාගාර භාවිතා කිරීම ලෝකයේ සුලබව පවතී.

සාම්පූර් ගල් අඟුරු විදුලි බලාගාරය මඟින් මෙගාවොට් 500 ක විදුලිය ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කෙරේ. ඒ අනුව අනාගතයේදී රට තුළ ඇති විය හැකි විදුලිය ඉල්ලුමට සාපේක්ෂව, විදුලිය අවශ්‍යතා මෙම ව්‍යාපෘතියත් සමඟ සපුරා ගැනීමට හැකියාව ලැබේ. සමස්ත ව්‍යපෘතියට වැය කරන මුදල ඩොලර් මිලියන පන්සිය දොළහක් (512) ක් පමණ වනු ඇති බවට ශක්‍යතා අධ්‍යනයට අනුව ඇස්තමේන්තු කර ඇත. ගිවිසුම අත්සන් තබා වසරක් ඇතුළත ඉදිකිරිම් ආරම්භ කළ යුතුව ඇති අතර එය 2018 වසරේ අවසන් කර, විදුලිය නිපදවීමට නියමිතය.

මෙගාවොට් 250ක ධාරිතාවයෙන් යුත් විදුලි ජනක යන්ත්‍ර දෙකක් සාම්පූර් ගල්අඟුරු විදුලිබල ව්‍යාපෘතියට අයත් වේ. එහි නිපදවන විදුලිය සාම්පූර් සිට හබරන හරහා වේයන්ගොඩ, ග්‍රිඩ් විදුලි උපපොළ දක්වා, අධිසැර සම්ප්‍රේෂණ මාර්ග ඔස්සේ ගෙනවිත්, ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිතය. ලංකා විදුලිබල මණ්ඩලය හා ඉන්දීය, “ ජාතික තාපබල සංස්ථාව” ඒකාබද්ධව පිහිටවනු ලැබූ ත්‍රිකුණාමලය බලශක්ති සමාගම, සාම්පූර් ගල්අඟුරු බලාගාරයේ සියලු පරිපාලන කටයුතු සිදුකරනු ඇත.