ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ විශාලතම විදුලි ට්‍රාන්ස්ෆෝමර් තොගය ඉතියෝපියාවට අපනයනය කෙරේ.
27 0

Posted by  in Latest News

ලංකා විදුලිබල මණ්ඩලයේ අනුබද්ධිත ආයතනයක් වන ලංකා  ට්‍රාන්ස්ෆෝමර් ආයතනය නිෂ්පාදනය කළ විශාලතම
ට්‍රාන්ස්ෆෝමර් තොගය අපනයනය කිරීම ආරම්භ  කළේය.

රුපියල් කෝටි 100 ක වටිනාකමින් යුත් ට්‍රාන්ස්ෆෝමර් 1660 ක්  මෙසේ ඉතියෝපයාවට අපනයනය කිරීම ආරම්භ විය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනියගේ ප්‍රධානත්වයෙන් රත්මලානේ පිහිටි ලංකා
ට්‍රාන්ස්ෆෝමර් වැඩබිමේදී, ඉතියෝපියානු විදුලිබල සංස්ථාවේ ප්‍රධාන ඉංජිනේරු බොගලේ අබිරා මහතාට
(Bogale abera)  සංකේතවත්අයුරින් භාරදීම සිදු කෙරිණි.

ලංකා ට්‍රාන්ස්ෆෝමර් ආයතනය, ලංකා විදුලිබල මණ්ඩලයේ අනුබද්ධිත ආයතනයක් ලෙස 1982 වසරේදී ස්ථාපිත කෙරිණි.
එම ආයතනය මඟින් නිෂ්පාදනය කරනු ලබන විදුලි ට්‍රාන්ස්ෆෝමර් දේශීය අවශ්‍යතාවයට ගැලපෙන අයුරින් නිෂ්පාදනය
ආරම්භ වුවත්එහි ගුණාත්මක තත්ත්වය  ඉහළ මට්ටමින් පවතින බැවින් අපනයනද ආරම්භ කිරීමට හැකි විය.
ඒ අනුව 2002 වර්ෂයේ දී ප්‍රථමයෙන්ම විදුලි ට්‍රාන්ස්ෆෝමර් ඉරාකයට අපනයනය කිරීමට කටයුතු කළේය. මේ වනවිට
එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ජෝර්දානය,එක්සත් අරාබි එමිර් රාජ්‍යය, ඉරානය, ඉන්දියාව, කෙන්යාව, උගන්ඩාව,
කුවේටය, මාලදිවයින ඇතුළු  රටවල් 20කට සිය අපනයනකටයුතු පුළුල් කර ඇත. 5 kv – 33 kv ධාරිතාවයකින් යුත් විදුලි ට්‍රාන්ස්ෆෝමර් ඉතා උසස් තත්ත්වයෙන් යුතුව  ජාත්‍යන්තර ප්‍රමිතීන්ට
අනුකූලව නිෂ්පාදනය කෙරේ.

මේ වනවිට ලංකා ට්‍රාන්ස්ෆෝමර් ආයතනය දේශීය මෙන්ම විදේශීය ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතනයක් බවට පත්ව ඇත.
වාර්ෂිකව විදුලි ට්‍රාන්ස්ෆෝමර් 4000 ක් පමණ නිෂ්පාදනය කරනු ලබන අතර මෙම නිෂ්පාදනයන්ගෙන් 50%  ක පමණ
ප්‍රමාණයක් විදෙස් රටවලට අපනයන කරයි. මේ අතර මොරිසස් , ටැන්සානියාව, උගන්ඩාව  යන රටවල් සඳහා ද ඉදිරියේදී
විදුලි ට්‍රාන්ස්ෆෝමර් අපනයනය කිරීමට ඇනවුම් ලැබී ඇති බව ලංකා ට්‍රාන්ස්ෆෝමර් ආයතනය සඳහන් කරයි.

අද පෙරවරුවේ රත්මලාන පිහිටි ලංකා ට්‍රාන්ස්ෆෝමර් ආයතනයේදී ඉතියෝපියාවට අපනයනය කළ විශාලතම
විදුලි ට්‍රාන්ස්ෆෝමර් තොගය භාර දීමේ අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය  නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය සමඟ
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන් වන එම්.අයි.එම්. රෆීක්, ජේ.එම්.කේ.ජයසේකර, ලංකා
විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්. බී. ගනේගල, ලංකා ට්‍රාන්ස්ෆෝමර් ආයතනයේ සභාපති යූ.ඩී. ජයවර්ධන යන
මහත්වරු සහභාගී වූහ.