අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිවැරදි දැක්ම නිසා දේශීය ඉංජිනේරු ක්ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් සිදුවුණා
25 0

Posted by  in Latest News

සාමය උදාවීමත් සමඟ රට තුළ ඉංජිනේරුමය ක්ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් අත්පත් කර ගැනීමට හැකි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය ප්‍රකාශ කරයි.අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ යුද ගැටුම් පැවති සමයේ නව නිර්මාණ බිහිකිරීමට වඩා, අපගේ ඉතිහාසය විසින් ඉදිකොට තිබූ  ඉංජිනේරුමය ශ්‍රේෂ්ඨ නිර්මාණ ආරක්ෂා කරගැනීමේ අභියෝගයට මුහුණ දීමට සිදු වූ බවයි.

අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය මේ බව කියා සිටියේ ඊයේ (24) දින කොළඔ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මඟින්  සංවිධානය කර තිබූ ඉංජිනේරු විශිෂ්ටතා 2013 සම්මාන උළෙලට සහභාගී වෙමිනි. එහිදී අදහස් දැක්වූ නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරිය කියා සිටියේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිවැරදි දැක්ම යටතේ අපගේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ පමණක් නොව සියලු ක්ෂේත්‍රයන් තුළ සාධනීය ප්‍රවර්ධනයක් ඇති වූ බවයි.

 ”මෙම උත්සවයට සහභාගී වන මට, අපගේ ශිෂ්ඨාචාරයේ විශිෂ්ට ඉංජිනේරුමය නිර්මාණ කිහිපයක් සිහියට නැගෙනවා. සීගිරිය අතිවිශිෂ්ට ජල පවාහන පද්ධතිය, අදටත් අසමාන වූ බිසෝ කොටුව සහිත වාරිමාර්ග පද්ධතිය, වාපි කර්මාන්තය සහ ජල පවාහන පද්ධතිය මත පදනම් වූ ශිෂ්ඨාචාරයකට මගපෑදූ ඉතාම සූක්ෂම වූ වාරිමාර්ග පද්ධතිය, කුලසිංහ ඉංජිනේරු මහතාගේ කොන්ක්‍රීට් පද්ධති, විමලසුරේන්ද්‍ර ඉංජිනේරු මහතාගේ ජලවිදුලි යෝජනා ක්‍රම වැනි ඉංජිනේරුමය නිර්මාණ අපගේ ශිෂ්ඨාචාරයේ ඉදිරි ගමන පිළිබඳ ඉතිහාස කථාව අපට යළියළිත් සිහිපත් කර දෙනවා.

වර්තමානයේදී නූතන ඉංජිනේරු තාක්ෂනයේ ආභාසය ලැබුවද ජාතියක් වශයෙන් අපට උරුම වූ උසස් ලෙස සංවර්ධිත පාරම්පරික ඉංජිනේරු දැනුමක් ශතවර්ෂ ගණනාවකට පෙර සිටම පැවතුණ බව නොරහසක්. මෙසේ අත්පත් කරගත් දෑ සමාජයේ වෙනත් අංශ සමඟද නිබඳව බෑඳී තිබෙනවා. අප රටේ සාමාජීය, දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික සමාජ ස්ථාවරත්වය ඍජු ලෙස නව ඉංජිනේරුමය නිපැයුම් සහ සමාජ සංවර්ධනය සමඟ දිශානුගතව තිබෙනවා.

අද අප මෙසේ රැස්ව සිටින්නේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ අතිදක්ෂයින් උදෙසා සම්මාන පිරිනැමීමේ සුවිශේෂී අවස්ථාවකයි. එයද සාමය උදා වූ පසුබිමක විශිෂ්ට ඉංජිනේරුමය නිර්මාණ පමණක් නොව වෙනත් ඕනෑම ක්ෂේත්‍රයක නව නිර්මාණ පෝෂණය සඳහා ඉඩහසර පෑදෙන යුගයක්. පසු ගිය සිව් වසරට එහා අපගේ මතකය රැගෙන ගියහොත් එම කාල වකවානුවේදී අපට නව නිර්මාණ බිහි කිරීමට වඩා කාලය යෙදවීමට සිදුවූයේ මෙතෙක් අපගේ ඉංජිනේරුවන් විසින් ඉදිකොට තිබූ ශ්‍රේෂ්ඨ නිර්මාණ රැක ගැනීමේ අභියෝගයට මුහුණ දීමටයි.

විදුලිබලය ජනනය කරන ස්ථාන අධිආරක්ෂක කලාප බවට පත්වුණා. පාලම්, වේළි, ට්‍රාන්ස්ෆෝමර සහ ජල ප්‍රවාහන නළ ආරක්ෂා කිරීමට ආරක්ෂක හමුදා යෙදවූ යුගයක් තිබුණා. සියලුම රජයන්ට මෙම ඉංජිනේරුමය නිර්මාණ ආරක්ෂා කිරීම ප්‍රධාන අභියෝගයක් වූ අතර සංවර්ධනය සඳහා බාධා එල්ල වුණා. නමුත් අද ඒ තත්ත්වය වෙනස් වී තිබෙනවා. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඒ තත්ත්වය වෙනස් කොට ත්‍රස්තවාදය මෙරටින් අතු ගා තිබෙනවා. ඉන් නොනැවතී කඩිනම් සංවර්ධන ව්‍යාපාර දියත් කොට ඉදිකිරීම් විදුලිබල හා බලශක්ති, රෙදිපිළි කර්මාන්තය තේ අපනයන කර්මාන්තය සහ සංචාරක කර්මාන්තය වැනි ක්ෂේත්‍රයන්හි සංවර්ධනය ධෛර්යයමත් කිරීම අප ලැබූ ජයග්‍රහනයක්.

ඉංජිනේරු ක්ෂේත්‍රෙය් විශිෂ්ටයින් ඇගයීම සඳහා පවත්වන මෙවන් උත්සව මෙම සංවර්ධන ක්‍රියාදාමයෙහි ඉතා වැදගත් අංගයක් බව මාගේ හැඟීමයි. එබැවින් ඒ සියල්ලන්ටම මාගේ සුභ පැතුම් පිරිනමනවා.”

මෙම අවස්ථාව සඳහා ජ්‍යේෂ්ඨ අමාත්‍ය පී. දයාරත්න, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කනක හේරත්, අජිත් මානප්පෙරුම, සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න යන මැති ඇමතිවරු ඇතුළු ඉංජිනේරු ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වත්හු රැසක් සහභාගී වූහ.

 ඡායාරූපයේ දැක්වෙන්නේ 2013 ඉංජිනේරු විශිෂ්ටතා සම්මාන උළෙල ආරම්භ කිරීමට පෙර අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය සාම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල් වූ ආකාරය සහ වසරේ තරුණ ව්‍යවසායකත්ව ඉංජිනේරුවරයා ලෙස පත් වූ එස්. නානායක්කාර මහතාට සම්මානය ප්‍රදානය කළ අවස්ථාවයි.