වසර 22 කට පසු  ජාතික විදුලිබල පද්ධතිය තුළ  උතුර, දකුණ යාකරමින් චුන්නාකම් ග‍්‍රිඞ් විදුලි උපපොල ජනතා අයිතියට
19 0

Posted by  in Latest News

දශක දෙකකට පසුව ජාතික විදුලිබල පද්ධතිය තුළ උතුර දකුණ යාකරමින් යාපනය චුන්නාකම් විදුලි උපපොල තවත් නොබෝ දිනකින් ජනතා අයිතියට පත්කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත‍්‍රා වන්නිආරච්චි මැතිනිය ප‍්‍රකාශ කරයි.

සැප්තැම්බර් මස මුල් භාගයේදී  සිට මෙසේ චුන්නාකම් විදුලි උපපොල හරහා ජාතික විදුලිබල පද්ධතියෙන් යාපනය අර්ධද්වීපයට විදුලිය සැපයීමට නියමිතව තිබේ. චුන්නාකම් විදුලි උපපොල හරහා මෙගාවොට් 63 ක ධාරිතාවක් යාපනය අර්ධද්වීපයට සම්පේ‍්‍රෂණය කිරීමට අපේක්ෂිත අතර එමගින් නිවාස 1,20,000 කට පමණ ජාතික විදුලිබල පද්ධතිය හරහා විදුලිය සපයනු ලැබේ. මීට අමතරව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා ද විදුලිය ලබාදීමට මෙමගින් හැකිවේ. ඒ අනුව චුන්නාකම් ග‍්‍රිඞ් විදුලි උපපොල ක‍්‍රියාත්මකවීමත් සමග යාපනය අර්ධද්වීපයේ සමස්ථ විදුලිය අවශ්‍යතාවය සම්පූර්ණ කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරිය අවධාරණය කරයි. මේ සඳහාරජය වැය කළ මුදල රුපියල් මිලියන 577.9 කි.

වසර 22 කට පෙර ලක්ෂපාණ බලාගාරය හරහා යාපනය අර්ධද්වීපයට  විදුලිය සම්පේ‍්‍රෂණය කරනු ලැබූ අතර කොටි ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම්  හේතුවෙන් 1990 සිට එම ක‍්‍රියාවලිය බිඳවැටිණි. පසුව යාපනය අර්ධද්වීපයට විදුලිය බලය සැපයීම සඳහා  මහාපරිමාණ විදුලි ජනන යන්ත‍්‍ර භාවිතාකළ අතර එයද එතරම් ගුණාත්මක මට්ටමක නොතිබිණි. උතුරු ප‍්‍රදේශයේ යාපනය නගරය ඇතුළු සීමිත ප‍්‍රදේශයකට පමණක් විදුලිය පහසුකම් සපයා තිබු අතර 2009 වසරේ යුද්ධයේ නිමාවත් සමග යුද්ධයෙන් පීඩාවටපත් ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ මෙහෙයව්ම හා මඟපෙන්විම මත ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ක‍්‍රියාත්මක කළ ..උතුරු වසන්තය.. කඩිනම් සංවර්ධන වැඩසටහන යටතේ උතුරු ප‍්‍රදේශයට විදුලිය ලබාදීම ආරම්භ විය. උතුරු වසන්තය ග‍්‍රාමීය විදුලි ව්‍යාපෘතිය වෙනුවෙන් රු. මිලියන 4271 ක් වැයකර තිබේ.  මේ යටතේ ප‍්‍රථමයෙන් අනුරාධපුරයේ  සිට වව්නියාව දක්වා සම්පේ‍්‍රෂණ මාර්ග වැඩි දියුණුකොට  ඒ සඳහා මධ්‍ය පරිමාණයේ විදුලි රැහැන් මෙන්ම 33 kv අධිසැර විදුලි රැහැන් මාර්ග ඇදීමද ආරම්භ විය. වව්නියාවේ සිට මුලතිව් පරන්තන් දක්වා 33 kv විදුලි රැහැන් මාර්ග ක‍්‍රියාත්මක වුවද, එමගින්  කර්මාන්තශාලා වැනි මහාපරිමාණ විදුලිය අවශ්‍යතා ලබාදීම අපහසු විය. ඊට විකල්පයක් ලෙස රජය රුපියල් මිලියන 3083 ක් ආයෝජනය කර වව්නියාව සිට කිලිනොච්චිය දක්වා කුළුණු 238 කින් සමන්විත 132 kv අධිසැර මාර්ගයක් ස්ථාපිත කිරිමට පියවර ගැනිණ. මේ වෙනුවෙන් 63 Mwධාරිතාවයකින් යුත් ග‍්‍රිඞ් විදුලි උපපොලක් කිළිනොච්චියේදී ඉදිකෙරින. මේ අතරතුර මෙගාවොට් 24 ක ධාරිතාවයකින් යුත් උතුරු ජනනී විදුලි බලාගාරය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් අතින් 2013.02.12 දින ආරම්භ කෙරිණි. ඒ සඳහා රජය රුපියල් මිලියන3500 ක් වැය කර ඇත. එය මුළුමනින්ම දේශීය ඉංජිනේරු තාක්ෂණය මත ගොඩනැංවූවකි.

මේ වනවිට යාපනය අර්ධද්වීපයේ සියළුම නගර ආවරණයවන පරිදි විදුලිය ලබාදී තිබේ. රජයේ ආයතන සඳහා 100% ක් ද රෝහල්,පාසල් සඳහා 100% ක්ද විදුලිය ලබාදී ඇත. ..උතුරු වසන්තය.. වැඩසටහන යටතේ ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා කිළිනොච්චිය දිස්ත‍්‍රික්කයේ 45%ක්ද, යාපනය දිස්ත‍්‍රික්කයේ සහ වවුනියාව දිස්ත‍්‍රික්කයේ 84% ක්ද මන්නාරම දිස්ත‍්‍රික්කයේ 80% ක්ද. මුලතිව් දිස්ත‍්‍රික්කයේ 45% ක්ද වශයෙන් ජනතාව සඳහා විදුලිය ලබාදී තිබේ. මේ සඳහා  ට‍්‍රාන්ස්ෆෝමර් 217 ක් ද අධිසැර විදුලි රැහැන් මාර්ග කි.මී. 627 ක්ද අඩුසැර විදුලි රැහැන් මාර්ග කි.මී. 1720 ක්ද මේ වනවිට ස්ථාපිත කර ඇති අතර මෙමගින් දැනටමත් නිවාස 67000 කට අඛණ්ඩ විදුලිය ලබාදී තිබේ.

චුන්නාකම් ග‍්‍රිඞ් විදුලි උපපොල සහ කිලිනොච්චිය ග‍්‍රිඞ් විදුලි උපපොල ජාතික විදුලිබල පද්ධතියට එක්වීමෙන් සමස්ථ උතුරු අර්ධද්වීපයේ නිවාස ලක්ෂ 2 කට පමණ කිසිඳු බාධාවකින් තොරව විදුලිය සැපයීමට හැකිවෙනු ඇත.