බලශක්ති කළමනාකරණයෙන්, ශ්‍රී ලංකාව කලාපයේ රාජ්‍යයන් අතර ප්‍රමුඛයා වීඇතැයි පාකිස්ථානය අවධාරණය කරයි.
19 0

Posted by  in Latest News

බලශක්ති සංවර්ධනයට අදාලව ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමටදඅවධානය.

බලශක්ති කළමනාකරණ අංශයෙන් ශ්‍රී ලංකාව. කලාපයේ රාජ්‍යයන් අතර ප්‍රමුඛයා වී ඇති බව පාකිස්ථානය පෙන්වා දෙයි.

පාකිස්ථානයේ විදුලිබලය හා ජලය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය Hon. Chaudhry Abib Sher Ali ( චෞද්‍රි අබීබ් ෂාර් අලි මැතිතුමා) විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය හමුවී මේ බව සඳහන් කළේය. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පැවති මෙම හමුවේදී පාකිස්ථාන බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශකළේ ශ්‍රී ලංකාව බලශක්ති කළමනාකරණය සඳහා ගෙන ඇති පියවරයන් ඉතා ප්‍රශස්ථවන බවයි.

එබැවින් පාකිස්ථානයටද එම ක්‍රමවේදයන් හඳුනාගැනීමට ඉඩප්‍රස්ථාව ලබාදෙන ලෙස චෞද්‍රි අබීබ් ෂාර් අලි මැතිතුමා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළේය. මෙරට කුඩා පරිමාණ ජලවිදුලි බලාගාරවල තාක්ෂණය ඉතා උසස් මට්ටමක පවතින බව පැවසූ හෙතෙම, සිය රට තුළ ක්‍රියාත්මකවන මහාපරිමාණ ජලවිදුලි බලාගාරවල ක්‍රියාකාරීත්වය දැකබලාගනීමටද ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.

පාකිස්ථානයේ දිනකට පැය කිහිපයක් විදුලිය අත්හිටුවන බව කී අමාත්‍යවරයා, පාකිස්ථානයේ විදුලිය සම්ප්‍රේෂණයේදී හා ඛෙදාහැරීමේදී සමස්ත ධාරිතාවයෙන් 40% ක නාස්තියක් පවතින බවත් පැවසීය. මෙම තත්ත්වය සමග සසඳාබැලීමේදී ශ්‍රී ලංකාවේ බලශක්ති කළමනාකරණය මෙන්ම තාක්ෂණික ක්ෂේත්‍රයේ පවතින දියුණුව ඉතා වැදගත්ය. පාකිස්ථානය තුළ පවතින බලශක්ති අපතේයාම වලක්වාගනිමින් බලශක්ති සංරක්ෂණක් ඇතිකිරීම සඳහා ශ්‍රී ලංකාව අනුගමනයකරන ක්‍රමවේදයන් ඉතා වැදගත්වන බවත් චෞද්‍රි අබීබ් ෂාර් අලි මැතිතුමා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය කියාසිටියේ, කලාපයේ රාජ්‍යයක් ලෙස පාකිස්ථානය හා ශ්‍රි ලංකාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවය ශක්තිමත් එකක්වන බවයි. ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් පාකිස්ථානය ලබාදෙන සහාය අමතක කළ නොහැකි බවද පැවසූ එතුමිය, බලශක්ති කළමනාකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අත්දැකීම් පාකිස්ථානය සමග ඛෙදාහදා ගැනීමටද සිය කැමැත්ත ප්‍රකාශ කළාය. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සෘජු විදේශ ප්‍රතිපත්ති හමුවේ දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවය වර්ථමානයේ වඩාත් ශක්තිමත්වී ඇතැයිද නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය වැඩිදුරටත් පැවසුවාය.

මෙම හමුවට ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහකොමසාරිස් කාසීම් කුරේෂි (^Mr. Qasim Qureshi) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් උපාලි දරණගම යන මහත්වරුන්ද සහභාගී වූහ