බලශක්ති කළමණාකරනය හා සංරක්ෂණය අතින් ශ‍්‍රී ලංකාව ඉදිරියෙන්
31 0

Posted by  in Latest News

විදුලිබලය බෙදාහැරීම සහ සම්පේ‍්‍රෂණයේදී සිදුවන නාස්තිය අවම කිරීම සඳහා අනුගමනය කරන්නාවූ ක‍්‍රියාමාර්ගයන් හමුවේ, සංවර්ධනය වෙමින් පවත්නා රටවල් අතරින් ශ‍්‍රී ලංකාව ප‍්‍රමුඛස්ථානයේ පසුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය, පවිත‍්‍රා වන්නිආරච්චි මැතිනිය ප‍්‍රකාශ කරයි.

අමාත්‍යවරිය පෙන්වාදෙන්නේ මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව මෙරට බලශක්ති සංරක්ෂණ ප‍්‍රතිපත්තිය ඉතා විධිමත්ව පවත්වාගෙන යාමට හැකිවී ඇති බවයි. රටක් වශයෙන් ලඟාකරගෙන ඇති මෙම ප‍්‍රවණතාවය ඉතා සුවිශේෂී යැයිද පවිත‍්‍රා වන්නිආරච්චි මැතිනිය සඳහන් කරයි.

2013.07.26 දින කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවති, ශ‍්‍රී ලංකා බලශක්ති කළමණාකරුවන්ගේ 28 වෙනි වාර්ෂික සම්මේලනයට සහභාගී වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

විදුලිබලය සම්පේ‍්‍රෂණයේදී හා බෙදාහැරීමේදී සිදුවන නාස්තිය 2016 වනවිට 12% දක්වා අඩුකර ගැනීම මහින්ද චින්තන ඉදිරි දැක්මේ ඉලක්කය වේ. එහෙත් එම ඉලක්කය අභිබවායමින්, මේ වනවිටත් විදුලිය නාස්තිය 11.5% දක්වා අඩුකර ගැනීමට හැකිවී තිබේ. මෙවැනි ඉලක්කයකට අපට යාහැකි වූයේ බලශක්ති සම්පේ‍්‍රෂණ කළමණාකරනයේ පවතින ඉහල ගුණාත්මකභාවය හේතුවෙනි.

විදුලි පාරිභෝගිකයින්ට විදුලිය අරපරිස්සමින් භාවිතා කිරීම සඳහා දැනට ලබාදෙන මඟපෙන්වීමට අමතරව ඉන් ඔබ්බට ගිය වැඩපිළිවෙලක් හඳුන්වාදීම වැදගත් බවත්, එමගින් බලශක්ති සංරක්ෂණය සඳහා වන ක‍්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කළහැකි බවත් අමාත්‍ය, පවිත‍්‍රා වන්නිආරච්චි මැතිනිය ප‍්‍රකාශ කළාය.

ලංකා විදුලිබල මණ්ඩලය හා පෞද්ගලික අංශය සතු විදුලි බලාගාරවල කාර්යක්ෂමතාවය, නිරන්තර පරීක්ෂාවට ලක්කළ යුතු බව මහජන උපයෝගීතා කොමිසම දැනුම්දී තිබේ. විදුලිය නාස්තිය අවම කිරීම සඳහා මෙතෙක් අනුගමනය කළ ක‍්‍රමවේදයන් හමුවේ නුදුරු අනාගතයේදී විදුලිය නාස්තිය 9% දක්වා අඩුකර ගැනීමට හැකිවන බවද අමාත්‍ය, පවිත‍්‍රා වන්නිආරච්චි මැතිනිය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම අවස්ථාවට ශ‍්‍රි ලංකා බලශක්ති කළමණාකරුවන්ගේ සංගමයේ සභාපති වරලත් ඉංජිනේරු ආනන්ද නාමල් මහතා, එම සංගමයේ සභාපති ආචාර්ය මොහාන් මුණසිංහ මහතා ඇතුළු විද්වතුන් රැසක් සහභාගී වී සිටියහ.