Posted by in Latest News
2013.03.04 දින චීන තානාපති ගරු වූ ජියැන්හාඕ (HE Wu Jianghao) මහතා හමුවේදී නොරොච්චෝලේ විදුලි බලාගාරයේ දෙවන අදියර යටතේ නව බලාගාර දෙකක් නිසි ප්‍රමිතීන්ට අනුකූලව සම්පූර්ණ කර තවත් මෙගා වොට් 600 ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමේ අවශ්‍යතාවය විදුලිබල හා බලශක්ති ඇමතිනී ගරු පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පෙන්වා දෙන ලදි.
මෙම සුහද හමුවේ දී චීනය හා ශ්‍රී ලංකාව අතර දීර්ඝකාලීනව පවත්නා සබඳතාවන් සිහිපත් කළ චීන තානාපතිතුමා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා චීනය දක්වනු ලබන සහයෝගය සිහිපත් කළේය. චීනයත් ශ්‍රී ලංකාවත් එකම සංවර්ධන මාවතක ගමන් කරන බවත් දෙරටේ එකම වෙනස චීනයේ සුවිසල් ජනගහනය බවත් ජියන්හාඕ මහතා පැවසීය.
මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වයන් ගැන එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර විදුලිබල උත්පාදන ක්ෂේත්‍රයේ අනාගත කටයුතු සම්බන්ධයෙන් ද සහය දක්වන බවට තානාපතිතුමා සහතික විය. ඩීසල් මෙන්ම දැවිතෙල් වලින් විදුලිය නිපදවීමේ දී විශාල පිරිවැයක් දරන්නට සිදුවන බව අමාත්‍යවරිය එහිදී පෙන්වා දුන් අතර අඩු වියදමකින් විදුලිය ජනනය කිරීම සඳහා වන ව්‍යාපෘති වලට චීන රජයේ සහයෝගය නිරන්තරයෙන් ලබා දෙන බවට ද තානාපතිතුමා සහතික විය.
නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයෙන් දැනට මෙගා වොට් 300ක් ජාතික විදුලිබල පද්ධතියට නිපදවන අතර එහි දෙවන අදියර යටතේ තවත් මෙගා වොට් 600ක් ජාතික පද්ධතියට එක් වීමට නියමිතය.
අද වනවිට මෙරට සියලු විදුලි බලාගාර වල විදුලි උත්පාදනය මෙගා වොට් 3310ක් පමණ වන අතර මේ වසරේ දී එයට තවත් මෙගා වොට් 600ක් එක් කරමින් ‘සැමට සැමවිට විදුලිය’ යන මහින්ද චින්තන ඉදිරි දැක්ම යථාර්ථයක් බවට පත්කිරීම සඳහා කටයුතු කිරීමට අමාත්‍යවරිය ඉදිරි සැලසුම් සකස් කරන බව ද අවධාරණය කළාය.
ලක්විජය බලාගාරයේ පළවන අදියරයෙන් මෙගා වොට් 300ක විදුලිය නිෂ්පාදනය කරන අතර විදුලිබල අමාත්‍යවරිය පසුගියදා ලක්විජය බලාගාරයේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා වන නිරීක්ෂණ චාරිකාවකටද සහභාගී වූවාය. මෙහිදී අමාත්‍යතුමිය දැනට ඉදිවෙමින් පවතින දෙවන අදියරේ වැඩ කටයුතු අධීක්ෂණය කළ අතර ඉදිකිරීම් කටයුතු බාරව සිටින ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් සහ චීන ජාතික ඉංජිනේරුවන් සමඟ අදහස් හුවමාරු කරගත් අතර දෙවන අදියර නිසි සැලසුම් අනුව ඉදිකිරීම් අවසන් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව නිලධාරීන් දැනුවත් කළාය.