ජනවාරි මාසයේ විදුලි හොරු 224 ක් නීතියේ රැහැනට
01 0

Posted by  in Latest News

ලංකා විදුලිබල මණ්ඩලීය හදිසි වැටලීම් අංශ නිලධාරීන් විසින් මේ වසරේ ජනවාරි මස සිදුකරන ලද වැටලීම් තුළින් රු17,030,018.17 (ලක්ෂ170)ක ආදායමක් ලබා ඇති අතර එම මුදලින් රු.2,617,050.00 (ලක්ෂ 26)ක් උසාවි දඩ වශයෙන්ද, රු.14,412,968.17 (ලක්ෂ 144) විදුලිබල මණ්ඩලයේ අලාභය ලෙසද ගණන් බලා ඇත.

ඒ අනුව මීටර් වෙනස් කිරීම්, කොකු භාවිතකර විදුලිය ලබාගැනීම් වැනි අයථා විදුලි පරිහරණයන් පිළිබඳ සිද්ධීන් 224ක් වාර්තා වී ඇති අතර ඒ අතරින් සිද්ධීන් 159ක් වංචා සහගත ලෙස මීටර් සැකසීම තුළින් විදුලිය ලබාගැනීම් වේ. ඉතුරු සිද්ධීන් 65 කොකු යොදා අයථා ලෙස විදුලිය ලබාගැනීම් ලෙස හඳුනාගෙන තිබේ.

දීපව්‍යාප්තව ලංවිම මගින් සිදුකරනු ලබන මෙම වැටලීම් එක් එක් දිස්ත්‍රික්කයන් ඉලක්ක කරගනිමින් සිදුකරන අතර පසුගිය වසර තුළ ලංකා විදුලිබල මණ්ඩලීය විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ දීපව්‍යාප්ත වැටලීම් මගින් වංචනික සිද්ධීන් 3569ක් හඳුනාගෙන ඇති අතර එමගින් රු. 212,034,545.11ක ආදායමක් උපයාගෙන තිබේ.

මෙලෙස විදුලි මීටර් වංචනික ලෙස සකස් කිරීම්, කොකු භාවිතකර විදුලිය ලබාගැනීම් වැනි ක්‍රියාවන් හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට විශාල මූල්‍ය අලාභයක් සිදුවන බව අවධාරණය කරන විදුලිබල අමාත්‍යාංශය, වංචාකාරී පුද්ගලයින් නීතියේ රැහැනට හසුකරදීමට සහයොගය දක්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එවැනි යම් වංචාකාරී ක්‍රියාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව දූරකතන අංක 011 2422259 ඔස්සේ ලං.වි.ම. විමර්ශන අංශය දැනුවත් කරන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.