විදුලිබල මණ්ඩලය ගුණාත්මක මහජන සේවාවක් සපයන ආයතනයක් බවට පත්කිරීමට සේවක සේවිකාවන් එකමුතු විය යුතුයි
11 0

Posted by  in Latest News

ලංවිම පසුගිය වසරේ විශාල පාඩුවක් ලැබුවා. එම පාඩුව බිලියන 68 ක් මේ වසර අවසන් වනවිට අපට ඊටත් වඩා වැඩි පාඩුවක් උසුලන්න වෙයි. විදුලි නිෂ්පාදන වියදම අධික විම නියඟය වැනි ස්වභාවික උවදුරු වගේම හොරෙන් විදුලිය ගැනීම මෙම පාඩුවට හේතු වශයෙන් දැක්විය හැකියි. පාඩු ලබන්න හේතුව කුමක් වුවත්, ලංවිම ලබන පාඩුව පාරිභෝගික ජනතාව මතින් පියවන්න මම කටයුතු කරන්නේ නැතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය. එතුමිය මෙම අදහස් පළකළේ, අභිනවයෙන් සිය ධූරයේ වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව ඊයේ (07) ලංකා විදුලිබල මණ්ඩලීය සේවක පිරිස් හමුවූ අවස්ථාවේදීය. මෙහිදී සිය අදහස් දැක්වූ අමාත්‍යවරිය,

විදුලිබල මණ්ඩලය කියන්නේ අත්‍යාවශ්‍යය මහජන සේවාවක් සපයන ආයතනයක්. මහජන සේවාවක් සපයන ආයතනයක් හැටියට ලංවිම ලාභ උපයන මට්ටමකට පත්විය යුතු නැහැ. නමුත් පාඩු නොලබන තත්ත්වයකට ගෙන ආ යුතුයි. පසුගිය සමයේ පැවති නියඟයත්, තෙල් මිල ඉහළ යාම වැනි හේතූන් නිසාත් විදුලි ක්ෂේත්‍රයේ යම් යම් ගැටළු සහගත තත්ත්වයයන් මතු උනා. විශේෂයෙන්ම ලංකාවේ මිල අවම විදුලිය නිෂ්පාදන ප්‍රභවය තමයි ජලය. නමුත් මේ වනවිට ජලවිදුලි උත්පාදනය සදහා යොදාගත හැකි ජල මූලාශ්‍රවල හිඟයක් පවතිනවා. ඒ නිසා අනිවාර්යනේම අපි දැන් මිල අවම පුනර්ජණනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවිය යුතුයි. ඒ මගින් විදුලි නිෂ්පාදන පිරිවැය අවම කරගත හැකියි. ඒ වගේම අයථා අන්දමින් සිදුවන විදුලි පරිහරණයන් අවම කිරීමත් බලශක්ති සංරක්ෂණ ක්‍රියාපිළිවෙත් අනුගමනය කිරීමටත් මහජනතාව පෙළඹවිය යුතුයැයි පැවසීය. අමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දක්වමින්.

මහජනතාවට ගුණාත්මක අඛණ්ඩ විදුලිබල සැපයුමක් ලබාදෙන එක තමයි මගේ වගකීම. ඒ සදහා විදුලිබල මණ්ඩලීය සේවක මහත්ම මහත්මීන්ගේ සේවයට කැපවීම අත්‍යාවශ්‍යයි. විදුලිබල මණ්ඩලය පාඩු නොලබන තත්ත්වයට ගෙන ඒමටත්, ගුණාත්මක මහජන සේවාවක් සපයන ආයතනයක් බවට පත්කිරීමටත් මණ්ඩලීය සේවක සේවිකාවන් වශයෙන් අප සියළුම දෙනා එකාමෙන් එකමුතු වෙමුයැයි පැවසීය.

මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් එම් එම් සී ප්‍රදිනාන්දු, උපදේශක මහාචාර්ය කේ කේ වයි ඩබි පෙරේරා, ලංවිම සාමාන්‍යාධිකාරි නිහාල් වික්‍රමසූරිය, රත්නපුර පළාත්සභා සභාපති කංචන ජයරත්න යන මහත්වරුන් ඇතුළු විදුලිබල මණ්ඩලීය සේවක මහත්මහත්මීන් විශාල පිරිසක් සහභාගී වූහ.