රටට, ජනතාවට, විදුලිබල ක්ෂේත්‍රයට අවංක, කාර්යක්ෂම සේවයක් ඉටුකරන්න පුළුවන් පිරිසිදු දෑතක් මා සතුයි.
31 0

Posted by  in Latest News

විදුලිබල ක්ෂේත්‍රයේ ඉදිරි තීන්දු තීරණ ගැනීමේදී, රටත් ජනතාවත් යන දෙපාර්ශ්වයම ගැන
මම අවධානය යොමුකරනවා.

නව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරිය ලෙස සිය අමාත්‍යාංශයේ නිල වශයෙන් රාජකාරි අරඹමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

මෙතෙක් කාලයක් ඉලක්කගතව ගමන්කළ විදුලිබල අමාත්‍යාංශයේ ක්‍රියා පිළිවෙත, තවදුරටත් ඒ ආකාරයෙන්ම ජනතාවගේ විදුලි අවශ්‍යතා ගුණාත්මකව සහ අඛණ්ඩව සපුරාලීමේ ඉලක්ක සපුරාගැනීම වෙනුවෙන් දියත්කිරීමට මා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමන් මෙතෙක් මා වෙත පැවරූ සෑම අමාත්‍යාංශයක්ම කිසිඳු ගැටළුකින් තොරව පවත්වාගෙන යන්න මට හැකිවුණා. ඒ ආකාරයෙන්ම අර්බුදයක් ඇතැයි කියන මේ අමාත්‍යාංශ කාර්ය භාරය රටත්, ජනතාවත් යන දෙපාර්ශ්වයම නොතලා, සාර්ථක අන්දමින් ඉටුකරන්න මට හැකිවේවි. රටටත්, ජනතාවටත්, විදුලිබල ක්ෂේත්‍රයටත් අවංක, කාර්යක්ෂම මෙන්ම ගුණාත්මක සේවයක් ඉටුකරන්න පුළුවන් ආකාරයේ පිරිසිදු ශක්තිමත් දෑතක් මා සතු යැයි නව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසිය. ඒ මහත්මිය මේ බව පැවසුවේ අද (31) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිල වශයෙන් සිය රාජකාරි කටයුතු අරඹමිනි.

නව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරිය ලෙස නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පසුගියදා (28) අතිගරු ජනාධිපතිතුමන් ඉදිරියේදී දිවුරුම් දුන්නාය. පැල්මඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කර්මාන්ත හා විද්‍යා කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කල නැසීගිය ධර්මදාස වන්නිආරච්චි මහතාගේ දෙටු දියණිය වන ඇය වෘත්තියෙන් නීතිඥවරියකි. සබරගමු පළාත් සභා මන්ත්‍රීවරියක ලෙස දේශපාලනයට අවතීර්ණ වූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය 1994 වසරේදී පාර්ලිමේන්තුවට පත්වූවාය. එම වසරේම සෞඛ්‍ය, සමාජ සේවා හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස පත්වූ එතුමිය, 2000 වසරේ සිට මේ දක්වා සැලසුම් ක්‍රියාත්මක කිරීම, සමෘද්ධි හා දිළිඳුකම පිටුදැකීම, තරුණ කටයුතු ජාතික උරුමයන් හා සංස්කෘතික කටයුතු ආදී විෂයන් බාර කැබිනටි අමාත්‍යවරිය ලෙස කටයුතු කළ අතර මෙම නව තනතුරේ දිවුරුම් දිමට පෙර තාක‍ෂණ හා පර්යේෂණ අමාත්‍යවරිය ලෙස කටයුතු කළාය. ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ උප ලේකම් ධූරය දරන ඇය එම පක‍ෂයේ කාන්තා අංශය භාරව කටයුතු කරයි.

ශ්‍රීපාදස්ථානාධිපති ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේගේ සෙත් පිරිත් මධ්‍යයේ සිය රාජකාරි ආරම්භකරමින් පැමණ සිටි පිරිස ඇමතූ අමාත්‍යවරිය….,

විදුලිබල ක්ෂේත්‍රයේ පවතින ගැටළුවට ප්‍රධානම හේතුව තමයි නිෂ්පාදන වියදම් අධිකවීම. මේ තත්ත්වය වටහා ගනිමින්, වැඩිවන මිලෙහි බර විදුලි බිල්පත් මගින් ජනතාව පිට පවරන්නේ නැතිව, විදුලි ක්ෂේත්‍රයේ අර්බුද නිරාකරණය කරගත යුතුයි. ඒ සඳහා ගැටළු ඇතිවීමේ හේතු සොයා බලමින් ඒවාට සුදුසු පිළියම් ලබාදිය යුතුයි. විශේෂයෙන්ම මේ වනවිට 94% ක්ව පවතින ශ්‍රී ලංකාවේ විදුලියනය, මේ වසර අවසන් වනවිට 100% මට්ටම දක්වා ගෙනඑමින් මුළු රට විදුලියෙන් ඒකාලෝක කිරීමේ අභියෝගය ජයගැනීමට නියෝජ්‍ය ඇමතිතුමන්, විදුලිබල අමාත්‍යාංශය ප්‍රමුඛ අනෙකුත් අනුබද්ධ ආයතනයන්ගේ සහයෝගය මා අපේක්ෂා කරන්නේ යැයි පැවසීය.

මෙම අවස්ථාවට ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභා සභාපති කාංචන ජයරත්න, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් එම්.එම්.සී. ප්‍රදිනාන්දු, කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුර සිරිවර්ධන ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල, යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.