“විදුලි බිල තීරණයට මිල සූත්‍රයක් අත්‍යාවශ්‍යයි”
23 0

Posted by  in Latest News

80% ක් ජල විදුලිය ඇති බවට අදහස් පලවුවත්, 
රටටම අවශ්‍ය ජල විදුලිය ඇත්තේ දින 40 කට පමණයි.   

රටක් හැටියට ඉදිරියට යන්න නම්, ඛනිජ තෙල් මිල සහ විදුලි බිල තීරණය කිරීම සඳහා ජනතාවට, කාටත් පිලිගත හැකි මිල සූත්‍රයක් අත්‍යාවශ්‍යය බව ඇමති චම්පික රණවක පවසයි.

විදුලිබල ක්ෂේත්‍රයේ පැවති අභියෝග දෙකක් මේ වනවිට අධික දුෂ්කරතා මධ්‍යයයේ ජයගනිමින් තිබේ. සැමට විදුලියේ හිමිකම දීමත්, 24 පැය අඛණ්ඩ විදුලිය සැපයීමත් එම අභියෝග දෙකයි. ජය ගැනීමට අපහසු එහෙත් ජයගත යුතු ඊළඟ අභියෝගය නම්, මූල්‍යමය අතින් ශක්තිමත් රාජ්‍ය අයතනයක් වීමේ අභියෝගයයි. පාලනය කළහැකි සියළු සාධක ජනන අංශයේ සිට පාලනය කිරීමට තම අමාත්‍යාංශයට හැකියාව ඇති බව අමාත්‍ය චම්පික රණවක මහතා පෙන්වාදෙයි. 

අද වනවිට රටේ වාර්ෂික විදුලි ඉල්ලූම ගිගාවොට් පැය 12,000 කි. එයින් ගිගාවොට් 6000 ක් දක්වා එක් ඒකකයක වියදම රු. 7.00 ක් වුවත්, ඉතිරි ගිගාවොට් පැය 6000 නිෂ්පාදනය කර ඛෙදාහැරීමට  එක් ඒකකයකට රු. 32.00 ක වියදමක් දැරීමට ලංවිමට සිදුවේ. මෙම තත්ත්වය ඇතිවන්නේ මහා පරිමාණ ආයතන ඇතුළු ඉතා සීමිත පිරිසක් අතර වැඩි විදුලි ඉල්ලූමක් පැවතීම හේතුවෙනි. එහි බර හැමකෙනාටම දරන්නට සිදුවීම තමන් අනුමත නොකරන බව අමාත්‍යවරයා පවසයි. මහා පරිමාණ විදුලි පාරිභෝගිකයින් තමන්ට ඇති හැකි පරිදි ස්වයංහරිත විදුලි උත්පාදන ක්‍රම අනුගමනයට යොමුවන්නේ නම්, මෙම තත්ත්වය හාත්පසින්ම වෙනස්වන බව අමාත්‍යවරයා පෙන්වාදෙයි. 

අද වනවිට ගැටළුව නම් වැඩි විදුලි ඉල්ලූම සපුරාලීම සඳහා වැඩි වශයෙන් තාප විදුලිය යොදා ගැනීමයි. එහෙත් ඉහළ යන ඉන්ධන මිලට සාපේක්ෂව විදුලි බිලද වැඩිවිය යුතු වුවත්, එම බර  පාරිභෝගිකයාට ලබානොදීමට රජය කටයුතු කර ඇත. අවසානයේ එහි පාඩුව එකතුවන්නේ ලංකා විදුලිබල මණ්ඩලයට හෝ ඛනිජ තෙල් සංස්ථාවට බව අමාත්‍යවරයා පවසයි. අද වනවිට 80% ක් පමණ ජල විදුලි උත්පාදන හැකියාවක් ඇතැයි සමහරෙක් අදහස් පලකළත්, එහි තාක්ෂණික තත්ත්වය වන්නේ බලාගාර ආශ්‍රිතව සියළු ජලාශ උපරිම ජල මට්ටමේ පැවතියත් ප්‍රමුඛතාවය මත පදනම්ව ජලය ලබාගැනීමේදී රටටම අවශ්‍ය විදුලිය නිෂ්පාදනය කළ හැක්කේ උපරිම දින 40 කට පමණි. කවදාටත් වඩා උපරිම අන්දමින් එම තත්ත්වය කළමනාකරණය කිරීමට වත්මන් රජයට හැකියාව පවතින බවද, අමාත්‍යවරයා පෙන්වාදෙයි. පෞද්ගලික බස් ගාස්තු වැඩිවීමේදීත් ගෑස් මිල තීරණය කිරීමේදීත් පිළිගත් මිල සූත්‍රයක් භාවිත කෙරේ. රටක් ලෙස ඉදිරියට යන්න නම්, ඛනිජ තෙල් සහ විදුලි බිලටත්, ජනතාවට කාටත් පිළිගත හැකි මිල සූත්‍රයක් අත්‍යාවශ්‍ය බව අමාත්‍ය චම්පික රණවක මහතා පෙන්වාදෙයි. එසේ නොකොට ලෝක තෙල් මිල ගණන්  හමුවේ රු. 25 කින් 30 කින් ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් මිල ඉහළ දැමීම හෝ ඊට සාපේක්ෂව විදුලි ගාස්තුව රු. 4 කින් 5 කින් වැඩිකිරීම සුදුසු නොවන බව අමාත්‍යවරයා පවසයි. 

අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ අද (21) හංවැල්ලේදී ෆොන්ටෙරා සමාගමට අයත් කිරි ශීත කිරීමේ මධ්‍යස්ථානයකට කිලෝවොට් 22,000 ක වාර්ෂික ධාරිතාවක් සහිත පැනල 26 කින් සමන්විත සූර්ය කෝෂ පද්ධතියක් විවෘතකිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. ෆොන්ටෙරා සමාගම සතු අනෙක්් කිරි ශීත කිරීමේ මධ්‍යස්ථාන 8 ටද මෙම හරිත බලශක්ති ක්‍රමවේදය හඳුන්වාදෙන බව එහි නව කළමනාකාර අධ්‍යක්ෂ ලියොන් ක්ලෙමන්ට් මහතා සඳහන් කළේය. මෙම අවස්ථාවට ප්‍රේදශයේ කිරි ගොවීන් 150 කට අධික පිරිසක් සහභාගී විය.